අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන පිළිබඳ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්

    මැයි 15, 2017
    වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් තහවුරු කිරීමට රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ද එම තීරණයන් මේ වන විට ප්‍රකාශයට පත් කොට ඇතැයි ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.
     
    ඉදිරියේ දී පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයන්හි ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීම සඳහා වන කෙටුම්පත් සම්පාදනය මේ වන විට අවසන්ව ඇති බවත් ඒ අනුව ඉදිරියේ දී ස්වාධීන ආයතනයක් විසින් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සිදු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුනි.
     
    එමෙන් ම ලන්ඩන් විශ්වවිද්‍යාලය ලංකාව තුළ සිට අධ්‍යාපන කටයුතු ආරම්භ කොට ඇත්තේ වසර 100කටත් පෙර බවත් රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ස්ථීරව කටයුතු කරන අතර ම වඩාත් හොඳින් මෙම ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා සාකච්ඡා කිරීමට රජය සූදානම් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    ඒ අනුව මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා අධ්‍යාපනයේ නිදහස තහවුරු කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ පහත පරිදි වේ.
     
    • වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා නියමිත අනිවාර්ය මූලික සුදුසුකම් අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස නීතිගත කිරීම
     
    • මෙරට ලියාපදිංචි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපන මට්ටම, පරිපාලනය හා කළමනාකාරීත්වය පිළිබඳ නිශ්චිත තත්ත්වයක් හා ප්‍රමිතියක් පවත්වාගෙන යාම අනිවාර්යය කිරීම සහ මේ සෑම ආයතනයක් ම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් හැටියටත්, පාලක මණ්ඩලයක පාලනයට යටත් ම ක්‍රියාත්මක කරවීම මගින් ජනතා හිමිකාරීත්වය සතු ආයතන බවට ඒවා පත් කිරීම
     
    • වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්ෂණය සමත් "සයිටම්" සිසුන් හට හෝමාගම හෝ අවිස්සාවේල්ල රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබාදීම
     
    • ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC)  අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට සයිටම් සිසුන් පෙනී සිටීම අනිවාර්යය කිරීම
     
    • "සයිටම්" ආයතනයට අදාළ රජයේ තීරණ ක්‍රියාත්මක කරන තෙක් ඒ සඳහා අලුතින් සිසුන් බඳවා ගැනීම අත්හිටුවීම
     
    • නවීන පහසුකම්වලින් සමන්විත "වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල" රජයට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීම
     
    • රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමේ වරම් නොලබන සිසුන්ට මෙරටදී ම උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කිරීම හා ඒ සඳහා ප්‍රමිතිගත පදනමක් මත පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම
     
    • පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මගින් මෙරට සිසුන් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩිකිරීම සඳහා අදාළ ආයතන වෙත උපදෙස් ලබාදීම
     
    • රාජ්‍ය විශ්වවිද්‍යාල කෙරෙහි වැඩි අවධානයක් යොමු කර රජයේ වෛද්‍ය පීඨ සඳහා බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීම හා නව වෛද්‍ය පීඨයක් ඇරඹීම
     
    යන තීරණයන් ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya