අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජන සඳහා බදු සහන වැඩපිළිවෙළක්

    මැයි 15, 2017

    ආයෝජකයන් දිරි ගැන්වීමේ අපේක්ෂාවෙන් ඔවුන් වෙනුවෙන් සහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.


    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආයෝජනය කරනු ලබන මුදල, උත්පාදනය වන රැකියා අවස්ථා සහ ආයෝජන ක්‍රියාත්මක  කෙරෙන ප්‍රදේශය අනුව මෙම සහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

     

    මෙමගින් රැකියා දශලක්ෂයක් ඇති කිරීම, වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 5 – 6 දක්වා ආදායම් ඉහළ නංවා ගැනීම සේම, ආයෝජන සම්බන්ධයෙන් පවතින ගැටලු සහගත තත්ත්වයන් නිරවුල් කිරීමට හැකිවන බව ද අමාත්‍යරයා කියා සිටියි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ  (14) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

     

    මෙම සහන ක්‍රමවේදය ප්‍රධාන ආයෝජන වර්ග පහක් යටතේ ක්‍රියාත්මක ය. මේ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 03ට අඩු ආයෝජන සහන, රැකියා උත්පාදනය පදනම් වූ ආයෝජන සහන, මහා පරිමාණ ආයෝජන සඳහා දීමනා, වරායන් සංවර්ධනය සඳහා වන ආයෝජනය සහන සහ රඳවා ගැනීමේ බදු නිදහස යන සහන හිමිවෙයි.


    මෙමගින් ශ්‍රී ලංකාවට ණය ගැනීම වෙනුවට ආයෝජන ලබා ගැනීමේ හැකියාව තවදුරත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ක්‍රමානුකූලව ණය ලබා ගැනීම අඩු කර ඇති බවයි. 2016 වසරේ පාර්ලිමේන්තුව අනුමත කළ රාජ්‍ය ණය ලබා ගැනීමේ සීමාව රුපියල් බිලියන 1699ක් වුව ද එම වසර තුළ ලබා ගෙන ඇත්තේ රුපියල් බිලියන 1319ක ණය පමණක් බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ය. එය අපේක්ෂිත ණය ලබාගැනීමේ සීමාවට වඩා රුපියල් බිලියන 380ක අඩුවීමක් බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.


    මේ අතර සමාගම් බදු අනුපාත තව දුරටත් සරල කරමින් ස්ථර තුනකින් සමන්විතව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේ ය. නව ආදායම් බදු පනත් කෙටුම්පතට මෙම යෝජනා ඇතුළත් කරන අතර, ඒවා ජනතාවගේ සංවාදයට විවෘත කිරීමට සූදානම් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

     

    මේ යටතේ ක්ෂේත්‍ර රැසක සමාගම්, ආදායම් බදුවලින් නිදහස් කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යවරයා කියා සිටියි. වාණිජ කේන්ද්‍රස්ථාන ගත ක්‍රියාකාරකම්, තොරතුරු තාක්ෂණ, මැණික් හා ස්වර්ණාභරණ අපනයනය, ජාත්‍යන්තර මූලස්ථාන යළි ස්ථානගත කිරීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, කාබනික පොහොර නිෂ්පාදනය, කෘෂි කර්මාන්තය, කුකුළු ගොවිපොළ සහ කිරි නිෂ්පාදනය ඇතුළු ක්ෂේත්‍ර රැසකට මෙම බදු නිදහස හිමිවෙයි. කඩිනමින් මෙම යෝජනා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ද ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya