සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඳුරාන හරිත ගම්මානය, අන්තර්ජාතික ජල විදුලිබල ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය 17 දා ආරම්භ වේ

    ජනවාරි 14, 2016

    රුවන්වැල්ල ආසනයේ ඉඳුරාන කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියට ආශ‍්‍රිතව ඉදිකෙරෙන සරත්චන්ද්‍ර රාජකරුණා අන්තර්ජාතික ජල විදුලිබල ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය සහ හරිත ගම්මාන ව්‍යාපෘතිය, මේ මස 17 දින ප.ව. 2.00 ට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

    ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (13) පස්වරුවේ අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී විෂයභාර අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.

     

    මෙම අන්තර්ජාතික ජල විදුලිබල ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය මගින් ජල විදුලි බලය පිළිබඳව දැනුම ලබාදෙන දේශීය හා අන්තර්ජාතික වැඩමුළු පැවැත්වීම, ජල විදුලිබලය පිළිබඳව පුහුණු පාඨමාලා පැවැත්වීම, පාසල්, කාර්මික විද්‍යාල විශ්ව විද්‍යාල වැනි අධ්‍යයන ආයතන සඳහා සහ මෙම ක්ෂේත‍්‍රයේ පර්යේෂණය කරනු ලබන ඕනෑම අයෙකුට ජල විදුලි බලය පිළිබඳව අධ්‍යයනය සඳහා අවස්ථාව ලබාදීම හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකු සඳහා අවස්ථාව ලබාදීම ආදි කටයුතු සිදුවේ.

     

    එමෙන්ම හරිත ගම්මාන ඉදිකිරීමේ ව්‍යාපෘතිය තුළින් හරිත බලශක්ති භාවිතයට ග‍්‍රාමීය ජනතාව යොමු කරමින් ජාතික බලශක්ති සංරක්ෂණ වැඩසටහනට ඔවුන් දායක කරගැනීම සිදුවේ.

     

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා

    "රටේ බලශක්ති පරිභෝජනයේදී පොසිල ඉන්ධන මගින් බලශක්තිය නිපදවනවා කියන්නේ වියදම් අධික කාර්යයක්. ඒ අනුව පුනර්ජනනීය බලශක්තියෙන් රටට, රටේ ආර්ථිකයට සිදුවෙන්නේ වැදගත් කාර්යභාරයක්. එනම් මේ වනවිට ආනයන වියදමෙන් 40%ක ප‍්‍රමාණයක් වැයවන්නේ බලශක්ති ආනයනය සඳහායි. ඒ වියදමෙන් හරි අඩක් වැයවන්නේ, විදුලිය නිපදවීම සඳහා ආනයනය කරනු ලබන ඉන්ධන සහ ගල් අඟුරු වෙනුවෙන්. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම කුඩා ජල විදුලි බලාගාරය 1993 දී ස්ථාපිත වුණා. ක‍්‍රම ක‍්‍රමයෙන් සංවර්ධනය වූ මෙම කුඩා ජලවිදුලි බලාගාර ක්ෂේත‍්‍රය මේ වනවිට මෙගාවොට් 300 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කෙරෙනවා. ඉදිරියේදී මෙම ප‍්‍රමාණය තවතවත් වැඩිදියුණු කරගැනීමේ අරමුණ මූලික කරගනිමින් ආදර්ශ බලාගාරයක් ලෙසින් මෙම ඉඳුරාන කුඩා ජලවිදුලි බලාගාරය නම් කරන්නේ, ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුට මෙය දැකබලා ගැනීමටත්, ඒ තුළින් කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීම සඳහා පෙළඹවීමක් ඇති කිරීමටයි. ඒ වගේම නිවාස 1000 ක පමණ ප‍්‍රමාණයක එකතුවකින් හරිත බලශක්ති ගම්මාන වැඩසටහන දියත් කරන්නේ ඒ තුළින් බලශක්ති සංරක්ෂණ වැඩපිළිවෙලට ජනතාව යොමුකර, බලශක්තිය සංරක්ෂණය කරගැනීමත් ඒවා නිෂ්පාදනය කිරීම හෝ ආනයනය කිරීම සඳහා යන වියදම අවම කරගැනීමටයි.

     

    මීට අමතරව හිරු එළියෙන් විදුලිය නිපදවීම පිළිබඳව අවදානය යොමුකර දිවයිනේ සෑම නිවසකටම සූර්ය කෝෂ ලබාදීමටත් ඒ තුළින් සෑම නිවසක්ම අවම පිරිවැයක් යටතේ විදුලියෙන් ස්වයංපෝෂිත කිරීමටත් සැලසුම් කරනවා." යැයි පැවසීය.

     

    මෙම අවස්ථාවට සහභාගී වූ රුවන්වැල්ල එ.ජා.ප. ආසන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පැවසුවේ, මෙම හරිත බලශක්ති ගම්මාන පිහිටුවීමේ ක‍්‍රියාවලිය තුළින් පරිසර දුෂණය අවම කරගත හැකි බවයි.

     

    එමෙන්ම බලශක්ති සුරක්ෂිතතාවය ඉතා වැදගත් බවත්, හරිත ගම්මාන වැඩපිළිවෙල යටතේ ආනයනික ඉන්ධන ප‍්‍රමාණය අවම කර ජනතාව දේශීය බලශක්ති ප‍්‍රභවයන් වෙත යොමුකළ හැකි බවත් එසේම විශාල ව්‍යාපෘති වෙනුවට සමස්ත දිවයිනේම කුඩා බලාගාර ආරම්භ කිරීම ඉතාම වැදගත් බව මෙම අවස්ථාවට සහභාගී වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් බී. එම්. එස්. බටගොඩ මහතා පැවසුවේය. ඒ තුළින් ඉදිරි වසර කිහිපය තුළදී ශ‍්‍රී ලංකාව බලශක්තියෙන් ස්වයං පෝෂිත කළහැකි බවද ඒ මහතා අවධාරණය කළේය.

     

    මේ මස 17 දින දියත් කිරීමට නියමිත හරිත ගම්මාන වැඩසටහනේ සමාරම්භක උළෙලේදී, ඉඳුරාන හා දළුවලාන ග‍්‍රාම නිලධාරී වසම්වල ජනතාවට ජාතික විදුලිබල පද්ධතියෙන් ලබාගන්නා විදුලිය සංරක්ෂණය කිරීමේ අරමුණෙන් LED විදුලි පහන් 2000 ක් සහ සාම්ප‍්‍රධායික ආහාර පිසිමේ රටාවට ගැළපෙන කාර්යක්ෂම අනගි දර ලිප් නොමිලේ ලබාදීමට සැලසුම් කර තිබේ.

     

    මෙම අවස්ථාවට සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති කීර්ති වික‍්‍රමරත්න, අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්. පත්මසිරි, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya