මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උරුමයන් සුරැකීමට කැප වූ විද්වතුන් ඇගයීමට ලක්කිරීම අප ලැබූ භාග්‍යයක් - ආචාර්ය ජගත් බාලසූරිය

    දෙසැම්බර් 24, 2014
    ජාතික උරුමයන් සුරැකීමට ජනාධිපතිතුමා වෙනම අමාත්‍යාංශයක් පිහිටවූයේ උරුමයන් සුරැකීමට වැඩි ප්‍රමුඛත්වයක් දිය යුතු නිසා බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා පැවසීය.
     
    කොළඹ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ “උරුම ප්‍රසාද ප්‍රණාම” උ‍ළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අමාත්‍යාංශයේ කාර්යභාරය වන්නේ මහින්ද චින්තන ඉදිරි දැක්ම හා රජය මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා ජාතික උරුමයන් සුරැකීම බවත් අපේ උරුමය ඉතා පුළුල් පරාසයක විහිදී යන විෂයයන් ගණනාවකින් සමන්විත බවත්ය. 
     
    සාමාන්‍ය ව්‍යවහාරයේ දී ජාතික උරුමයන් යන්න පැරණි ආගමික සිද්ධස්ථාන, නටඹුන්, පුරාවස්තු, ශ්‍රී මහා බෝධිය, සමාධි පිළිමය, අවුකන ප්‍රතිමාව, සීගිරිය හෝ වියළි කලාපීය වැව් ආශ්‍රිත මහා වාරි පද්ධතීන් සිහියට නැගුණත් දේශීය වෛද්‍ය ක්‍රමය, සාම්ප්‍රදායික නැටුම් ගැයුම් වැනි කලාවන්, බලිතොවිල්, සාම්ප්‍රදායික කර්මාන්ත,  පූජාවිධි, ඇදහිලි, සිරිත් විරිත් සම්ප්‍රදායන් සාරධර්ම වගේම ශ්‍රී ලංකාවට අවේණික වෘක්ෂලතාවන්ගෙන් සමන්විත සිංහරාජ, හෝර්ටන්තැන්න, නකල්ස් කඳුවැටිය වැනි ස්වභාවික උරුමයන්මේ සියල්ල අයත් වන්නේ ජාතික උරුමයන්ටයි. මේවා ජාතික උරුමයන් වන්නේ ස්වභාවික හෝ මිනිසාගේ නිර්මාණ වශයෙන් හෝ කාලාන්තරයක් තිස්සේ අපට ආවේණික ලක්ෂණවලින් යුක්තව පැවතෙන නිසයි. 
     
    ජාතික උරුමයන් සුරැකීමට, ප්‍රවර්ධනය සුවිශේෂී මෙහෙවරක් කළ පිරිස අතුරින් ශ්‍රේෂ්ඨතමයන් දස දෙනෙකුගේ සේවය අගය කිරීමට ලැබීම අප ලැබූ භාග්‍යයක් යැයි මම සිතනවා. විටෙක තම ජීවිතය සම්පූර්ණයෙන්ම මෙම ක්ෂේත්‍රය වෙනුවෙන් කැප කිරීම තුළින් ඔවුන් තුළ උරුමයට ඇති ලැදියාව මනාවට පෙන්නුම් කරනවා. මෙහිදී පුරාවිද්‍යා, ලේඛනාගාර, කෞතුකාගාර ආදී ක්ෂේත්‍රයන් හි අද්විතීය සේවයක් ඉටුකළ විද්වතුන් මෙම සම්මානයෙන් පිදුම් ලබන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.   
     
    ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය 03 වැනි වරටත් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ ස්වර්ණ හා රජත වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ සම්මානලාභීහු සම්මාන ලබාගත්හ. මෙහි රජත සම්මානයෙන් පිදුම් ලැබූවේ හේමප්‍රිය කණ්ඩම්බි, පී.එල්. සිරිසේන, එම්.ඩී. ලාල්චන්ද්‍ර යන මහත්වරුන්ය. 
     
    ස්වර්ණ සම්මානය මෙවර පිරිනමනු ලැබූවේ පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, ආචාර්ය කේ.ඩී. මාලිනී ඩයස් මහත්මිය, මහාචාර්ය කේ.ඩී. පරණවිතාන මහතා, ආචාර්ය එම්.ඒ.එම්. ශුක්රි, සිරිනිමල් ලක්දුසිංහ, දේශමාන්‍ය විද්‍යාජෝති ඈෂ්ලි ද වොස්, සෝමසිරි දේවේන්ද්‍ර යන විද්වතුන් හටයි. 
     
    මෙම අවස්ථාව සඳහා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය නන්දා වික්‍රමසිංහ, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් වන බර්නාඩ් වසන්ත සහ ඩබ්.ඒ. ගුණසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක, කෞතුකාගාර අධ්‍යක්ෂිකා සනෝජා කස්තුරුආරච්චි, ලේඛනාගාර අධ්‍යක්ෂිකා සරෝජා වෙත්තසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya