සීගිරිය ප‍්‍රධාන පර්වතය පාමුල පිහිටි ගල් පර්වත සහ ගල් ලෙන්වල කාන්තා රූප හා කොටස් 25ක් පමණත් දිව්‍ය හා පුරුෂ රූප 5ක් පමණත් දක්නා ලැබෙන අතර මේ අතුරින් වැඩිම සිතුවම් ප‍්‍රමාණයක් දක්නට ලැබෙන්නේ දැරණියගල ගුහාව නමින් හැඳින්වෙන ලෙනෙහිය. මෙහි ඇති කාන්තා රූප සංඛ්‍යාව 22ක් වේ. මෙම ලෙනේ චිත‍්‍රණය වී ඇති කාන්තා රූ ශෛලියෙන් සීගිරියේ ප‍්‍රධාන පර්වතයේ චිත‍්‍රවලට නෑකමක් දක්වන මුත් දැරණියගල ගුහාවේ සිතුවම් ප‍්‍රධාන පර්වතයේ සිතුවම් තරමට ව්‍යක්ත නිර්මාණ නොවේ.
ඇතැම් විද්වතුන්ගේ අදහස වූයේ දැරණියගල ගුහාව ඇතුළු සීගිරිය ප‍්‍රධාන පර්වතයට බැහැරින් වූ පර්වත බේදයන්හි සිතුවම් කාශ්‍යප අවධියෙන් පසු කලෙකට කාලනීර්ණය කිරීම සුදුසු බවයි. කාශ්‍යපගේ අභාවයෙන් පසු සීගිරි බලකොටුව භික්ෂූන් වහන්සේලා වෙත පූජා කෙරුණු බවට එන මහාවංශගත සඳහන්වලට අනුව මෙම සිතුවම් පශ්චාත් කාශ්‍යප විහාරාරාමික අවධියට අයත් බව ඇතැමෙකුගේ අදහස විය. කෙසේ වුවද මෙම සිතුවම් සඳහා විද්‍යාත්මක කාලනීර්ණයක් සැලසීමට හැකියාවක් මේ තාක් නොවිණි.
මෙවැනි පසුබිමක් යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර ටී.කේ. විජේසිංහ මහතා විසින් දැරණියගල ගුහාවේ සිතුවම් සහිත බදාමයේ තිබී අඟුරු කැබැල්ලක් අනාවරණය කරගන්නා ලදී. මෙම අඟුරු කැබැල්ල කාබන් 14 කාලනීර්ණ පරීක්ෂාව සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩාහි බීටා ඇනලිටික් රෝඩියෝ කාබන් කාලනීර්ණ විද්‍යාගාරය වෙත යවන ලදී. එම කාල නීර්ණ ප‍්‍රතිඵල මේ වන විට දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.
ඒ අනුව මෙම අඟුරු සාම්පලය කි‍්‍රස්තු වර්ෂ 390 සිට ක‍්‍රිස්තු වර්ෂ 540 දක්වා කාලය තුළට අයත් වේ. කාශ්‍යප රාජ්‍ය කාලය ක‍්‍රිස්තු වර්ෂ 473 සිට ක‍්‍රිස්තු වර්ෂ 491 දක්වා වන බැවින් මෙම සිතුවම් බොහෝ විට කාශ්‍යප රාජ්‍ය සමයේ හෝ ඊට ආසන්න සමයකට අයත් බව උක්ත කාලනීර්ණය මඟින් සනාථ වේ.
HC