මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව තාක්ෂණය සමඟ ජාතික පුස්තකාලය පාඨකයාට සමිප වෙයි

    මැයි 26, 2016

    ඉදිරියේ දී නව තාක්ෂණය හා නවීන ශිල්පීය ක්‍රමෝපායන් භාවිත කරමින් ජාතික පුස්තකාලයට වැඩි වශයෙන් පාඨක සමාජය සමීප කරවීමට ක්‍රියාකරන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලියු. සුනිල් මහතා පැවසීය.

    ජාතික පුස්තකාලය හුදෙක් පර්යේෂකයන්ට හා අධ්‍යයන කාර්යයන් සඳහා පමණක් නොව සාමාන්‍ය ජනතාවට සිය දැනුම හා ප්‍රඥාව වැඩිදියුණු කර ගැනීම සඳහා පොදු පුස්තකාලයක් ලෙස භාවිත කළ හැකි බව ද ඒ මහතා කියා සිටියේය.

    "තොරතුරු හා නව තාක්ෂණයෙන් පුස්තකාල බලගන්වමු" තේමාවෙන් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ 26 වන සංවත්සරය නිමිත්තෙන් පැවති සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රධානත්වයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල පරිශ්‍රයේ දී  ඊයේ (25) පැවති අතර එහි ඒ මහතා මේ බව සඳහන් කළේය. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

     
    අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ ආලේඛ්‍ය සිතුවම නිරාවරණය කිරීම, ප්‍රකාශනාධාර ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ලේඛකයන් 15දෙනෙක් වෙත ලක්ෂ 5කට අධික මුදල් පරිත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

    තෙදිනක් පුරා පැවැත්වෙන මෙම උත්සවය අද (26) හා (30) දිනවලදී පැවැත්වේ. විද්වතුන්ගේ දේශන, පාඨක සමාජ දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම ආයතනයේ සියලුම අංශවලින් සිදු කරනු ලබන විවිධ සේවා හා කාර්ය භාරයයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම්වලින් ද මෙම  සංවත්සර වැඩසටහන් මාලාව සමන්විත වේ.

     ඒ අනුව අද (26) විශ්වවිද්‍යාල හා විශේෂ පුස්තකාල වෘත්තිකයන් සඳහා සිදු කරනු ලබන  "තොරතුරු ප්‍රචාරණය උදෙසා සංඛ්‍යාංකකරණය භාවිතයට ගැනීම" පිළිබඳ සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

    හෙට (30) වයඹ හා බස්නාහිර පළාත්වල මහජන පුස්තකාලයාධිපතීන් සඳහා සිදුකරනු ලබන "පුස්තකාල ස්වයංක්‍රීයකරණය සඳහා විවෘත මෘදුකාංග භාවිතය" පිළිබඳ සම්මන්ත්‍රණය පැවැත්වීමට කටයුතු යොදා ඇත.


    ශ්‍රී ලංකාවේ ජාතික පුස්තකාලයක් පිහිටුවා ක්‍රමානුකූලව පුස්තකාල සේවාවක් හා තොරතුරු සේවා පද්ධතියක් ආරම්භ කිරීම වෙනුවෙන් 1970 අංක 17 දරන පනත මඟින් ප්‍රලේඛන සේවා මණ්ඩලය ස්ථාපිත කෙරිණි. ඒ අනුව වර්ෂ 1970 -1990 වර්ෂය කාලයේ පුස්තකාල  සේවා මණ්ඩලය විසින් සිදු කළ මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීම තුළ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය 1990 අප්‍රේල් මස 27 දින විවෘත කෙරිණි. මේ අනුව දැනුවත් සමාජයක් බිහිකිරීම උදෙසා ජාතියේ බුද්ධිමය උරුමය සුරැකීම, ජාතික පුස්තකාල හා විඥාපන සේවා පද්ධතිය සංවර්ධනය, පුස්තකාල සේවා කාර්යක්ෂමතාව පිණිස තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය භාවිතයට දිරිදීම, ග්‍රන්ථ විඥාපන පහසුකම් සැපයීම සහ ග්‍රන්ථ ප්‍රකාශනය සඳහා අනුග්‍රහ දැක්වීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ජාතික පුස්තකාලය ක්‍රියාත්මක වෙමින් පවතී. ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය සතුව මේ වන විට ග්‍රන්ථ ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් පවතින අතර මීට අමතරව ප්‍රවීණ ලේඛකයන්ගේ පෞද්ගලික එකතුද  වෙන් වෙන් වශයෙන් පවත්වා ගෙන යමින් පවතී. එසේම ජාතික පුස්තකාලය සතු තවත් වැදගත්කමක් වන්නේ 1976 සිට මේ දක්වා පළවූ සියලුම විකල්ප හා ජාතික පුවත්පත්වල එකතුවක් පවත්වාගෙන යාමයි. ජාතික පුස්තකාලයේ එකතුව ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ පළවන සියලුම ප්‍රකාශන, ශ්‍රී ලාංකික කතුවරුන්ගේ සියලුම ප්‍රකාශන හා ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රකාශයට පත්වන සියලුම ප්‍රකාශන ඇතුළත්ව අංග සම්පූර්ණ ශ්‍රී ලංකා එකතුවක් ගොඩනැගීමේ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වෙයි.

    මෙම අවස්ථාවට මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, පොත් සමාගම් ප්‍රධානීන්, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය සරෝජා වෙත්තසිංහ ඇතුළු මහත්ම මහත්මින් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පුස්තකාලයාධිපතිවරුන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya