මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස මහා නිකායේ සංඝ මූලස්ථානය වූ ඇල්පිටිය, වතුරුවිල ආරණ්‍ය සේනාසන පුණ්‍ය භූමියේ ඉදි කළ අඩි 42 ක් උසැති ශෛලමය බුද්ධ ප‍්‍රතිමාවහන්සේ මහජනතාවගේ පුද පූජාවට නිරාවරණය කිරීම වෙසක් මස 19 වන දින පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.
ස්වභාව සුන්දරත්වයෙන් අනූන තුරු ලතාවන්ගෙන් ගහණ වූ ඓතිහාසික වතුරුවිල ආරණ්‍ය සේනාසන භූමියේ පිහිටි ස්වාභාවික ගල් පර්වතයෙහි අද දක්නට ඇත්තේ එගලින් ම නෙලූ මහානුභාව සම්පන්න සුවිසල් බුද්ධ ප‍්‍රතිමාවයි.
අඩි 42 ක් උසැති මේ ශෛලමය බුද්ධ ප‍්‍රතිමා වහන්සේ මෑත යුගයේ කළ අති දැවැන්ත නිර්මාණයක් ලෙස ඉතිහාසයට එක් වනු ඇත.
ස්වභවික ගල අඩි 30ක් පමණ ඇතුලට හාර එතුලින් රුව නෙළා මතුකරගැනීමට අපේ ශිල්පියෝ දැක්වූ සමත්කම ඉතිහාසයේ සදහන් කළ හෙළ කළාකරුවාගේ ප්‍රතිභාව වර්තමානයට පුනර්ජීවනය කිරීමකි
ක‍්‍රි. පූ. 6 වන සියවසේ නිර්මාණය වූ බවට සැළකෙන වැල්ලවාය, ඔක්කම්පිටිය, මාලිගාවිල බුද්ධ ප‍්‍රතිමාව මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදි වූ උසම ශෛලමය බුද්ධ ප‍්‍රතිමාව ලෙස ශාසන ඉතිහාසයේ සඳහන් වේ. අනුරාධපුර යුගයෙන් පසුව ශ්‍රී ලාංකීය කලා ශිල්පීන් අතින් නිමවූ ඒ හා සමාන උසකින් යුත් වතුරුවිල ශෛලමය බුද්ධ ප‍්‍රතිමාව අභය මුද්‍රාවෙන් යුක්ත ය. ඓතිහාසික අවුකන, මාලිගාවිල බුදු ප‍්‍රතිමා ශෛලියට සමානකම් දක්වයි.
දළ රළු කළු ගලකින් කලාත්මක අගයෙන් පිරි භාව ප‍්‍රකාශනයෙන් යුත් බුද්ධ ප‍්‍රතිමාවක් නෙලීම ඉතාමත් සංයමයෙන් කළ යුතු කාර්යභාරයකි. එහෙත් එවන් අභියෝග අපේ කලා ශිල්පීන් පහසුවෙන් ම ජය ගෙන ඇති බවට ඓතිහාසික හා වර්තමාන සාක්ෂි තුළින් මනාව සහතික වේ.
ශ්‍රී ලාංකීය හෙළ කලාකරුවා ශෛලමය බුද්ධ ප‍්‍රතිමා නෙලීමේ අති ශුරයෙකු බව ලොවට ප‍්‍රකට කර ඇත. වර්තමානයේ ලොව දියුණු යැයි ප‍්‍රකාශිත රටවල් ශිෂ්ටත්වයට පැමිණීමටත් පෙර, එනම් ක‍්‍රි. පූ. පළමු සියවසේ සිට අපේ ශිල්පියෝ එවන් හපන්කම් පෙන්වූහ.
මහඉලූප්පල්ලම පිළිමය, අනුරාධපුර සමාධි පිළිමය, අවුකන, තොලූවිල, පන්කුළිය, බුදුරුවගල, මාලිගාවිල ආදී සකලලෝවාසීන් අතර ගෞරව පූජෝපහාරයට පත් වූ මේ බුද්ධ ප‍්‍රතිමා හෙළ කලාකරුවාගේ ප‍්‍රතිභාව ප‍්‍රකට කරයි. කළු ගලකින් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව වැනි උත්තරීතර ගුණාංග පිළිබිඹු කිරීමට සමත්වීම පුදුම සහගත ය. භාව ප‍්‍රකාශනය හා සියුම් නිමාව මෙන්ම නිවැරදි මානව ප‍්‍රමාණ, දේහ ලක්ෂණ හා කලාත්මක ගුණය තීව‍්‍ර කරති. මේ අනගි නිර්මාණ දකින විට කළුගල මෙතරම් සියුමැලිදැයි යන ප‍්‍රශ්නය සිතට නැගෙන්නේ නිරායාසයෙනි.
බොදුනුවන්ගේ පුහුදුන් සිත බැතියෙන් පුබුදුවා ශ‍්‍රද්ධාවෙන් පෝෂණය කළ හැකි අපූර්ව චිත්තාකර්ශණයක් මේ බෞද්ධ ප‍්‍රතිමා කලා නිර්මාණ තුළ ගැබ් ව තිබේ.
ශත වර්ෂ ගණනාවකට එපිට අනුරාධපුර, පොළොන්නරු යුගවල අප රටේ පැවැති ශ්‍රී විභූතියත්, කලා ශිල්පියාගේ විශිෂ්ටත්වයත් කියා පාන ජීවමාන සාධක වර්තමානයට දායාද වූයේ මේ ශෛලමය කලා නිර්මාණයන් නිසා ය.
ඒ අතීත සම්ප‍්‍රදාය සුරකිමින් දේශීය කලාකරුවන් අතින් නිර්මාණය වූ මේ සුවිසල් බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වනවාසී භික්ෂු නිකායේ ඉතිහාසයත් එහි ආදි කර්තෘන්ගේ ශාසනික මෙහෙවරත් අනාගතයට කියා පාන ජීවමාන සාක්ෂිය වනු ඇත.
සසර කතරින් එතෙර වන්නට බවුන් වඩනා බුද්ධ ශ‍්‍රාවකයන්ට වඩාත් උචිත වූ වතුරුවිල ආරණ්‍ය සේනාසන භූමියේ මෙවන් බුදුරුවක් නිර්මාණය කිරීමේ අදහස අපවත් වී වදාළ වනවාස නිකායේ ප‍්‍රථම මහනායක වතුරුවිල ඤාණානන්ද නාහිමියන් විසින් පළ කර තිබිණ. ඒ බලාපොරොත්තුව සඵල කළේ වර්තමානයේ වනවාස සංඝ මූලස්ථානාධිපති මහකන්දේ රතනපාල අනු නාහිමියෝ ය. වසර හයකුත් මාස එකොලහක් පුරා නොපසුබස්නා වීර්යයෙන්, අධිෂ්ඨානපූර්වකව, නියම බුද්ධ පුත‍්‍රයෙක් ලෙසින් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට අගනා මෙහෙවරක් සිදු කොට ඇත.
AP