අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 රාජ්‍ය වෙසක් උත්සවය දකුණු පළාතේ දී

    මැයි 11, 2016
    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 18 සිට 24 දින දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඓතිහාසික නයිගල පුරාණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන පවත්වන බව බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
     
    වෙසක් සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර ප්‍රධාන උත්සවය ලබන 22 දින සවස 2.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික නයිගල පුරාණ රජමහා විහාරස්ථාන භූමියේදී පැවැත්වේ. රාජ්‍ය වෙසක් උත්සවයක් දකුණු පළාතේ පවත්වනු ලබන ප්‍රථම අවස්ථාව මෙය බවත් අමාත්‍යවරයා අද (11) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
     
    "වෙසක් අසිරිය - විඳගමු සිතින් වැලකෙමු මතින්" යන්න මෙවර වෙසක් සතියේ තේමාවයි. එහි සමාරම්භක උත්සවය ලබන 18 දින කසාගල රජමහා විහාරස්ථානයේදී සිදු කෙරෙන අතර එහිදී කුල දරුවන් 35 දෙනෙකු සසුන්ගත කිරීම හා සියක් නමක් විෂයෙහි දහවල් දානය පිළිගැන්වීම සිදු කෙරෙනු ඇත. මීට සමගාමීව එම දරුවන් සසුනට භාර දෙන දෙමාපියන් වෙනුවෙන්  නිවාස 35ක් ඉදිකරදීමට නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ඇත. එම නිවාස සඳහා සහනදායී අන්දමට විදුලිය ලබාදීමට විදුලිබල මණ්ඩලයේ කැමැත්ත ප්‍රකාශ කර ඇත. 
     
    සසුන්ගත වන සියලුම කුල දරුවන්ගේ දෙමාපියන් දඹදිව වන්දනා චාරිකාවක් සඳහා යැවීමට කටයුතු කරන අතර සසුන්ගත වන සාමනේර භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සාමනේර භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් කසාගල රජමහා විහාරස්ථානයේ පිහිටුවීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත. මැයි 21 දින දවස පුරා සීල සමාදාන, ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා පැවැත්වෙන අතර පාසල් සිසුන් ඇතුළු 3000ක් දෙනා සිල් සමාදාන කිරීමට ද මෙදින අපේක්ෂා කෙරේ. මැයි 22 දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රධාන උත්සවයේදී නයිගල රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීම සිදු කෙරේ. වෙසක් සමරු මුද්දරයක් නිකුත් කිරීමත් එදින සිදු කරන අතර බුදුපුත් මාපිය නිවාස වැඩසටහන යටතේ ඉදිකෙරෙන නව නිවාසවලට අදාළ ප්‍රදාන පත්‍ර පිළිගැන්වීමත් සිදු කිරීමට නියමිතය. එදින ම එම විහාරස්ථානයේදී සවර්ඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ කෙරෙනු ඇත.  ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉදිකරනු ලබන කුටි 54කින් යුත් වෙසක් කූඩු ප්‍රදර්ශනයක් වෙසක් සතියේ ක්‍රියාත්මක කෙරෙන අතර වෙසක් තොරණ ප්‍රදර්ශනයක් ද 2016 වෙසක් සතිය පුරා ක්‍රියාත්මක කෙරෙන බව බුද්ධශාසන අමාත්‍යාශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා සඳහන් කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya