මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් අඩු වී - පවුල කුඩා වීම, ශාසනයේ පැවැත්මට අභියෝගයක්- අමාත්‍ය දයා ගමගේ කියයි.

    මාර්තු 28, 2016
    අද වන විට පවුල්වල දරුවන් අඩු වීම බුද්ධ ශාසනයේ පැවැත්මට අභියෝගයක් වී ඇතැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය. අතීතයේ දී පවුල්වල දරුවන් ප්‍රමාණය වැඩි වූ නිසා, සෑම පවුලකින් ම පාහේ දරුදරුවකු ශාසනයට පූජා කිරීමේ සංස්කෘතියක් පැවති බවත් බුද්ධ ශාසනයේ අඛණ්ඩ හා අවිච්ඡින්න පැවැත්ම වෙනුවෙන් සසුනට දරුවන් පූජා කරමින්, සසුනේ අභිවෘද්ධිය වෙනුවෙන් සම්පත් හා දේපල පූජා කිරීමේ යහපැවැත්ම ප්‍රකට කළ යුතු බව ද දයා ගමගේ මහතා පැවසීය.
    අම්බලන්ගොඩ ශ්‍රී සුගන්දාරාම මහා විහාරයේ ක්‍රියාත්මක ශ්‍රී ධීරාලංකාර දහම් පාසලේ ස්වර්ණ ජයන්ති සැමරුම් හා වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයට සහභාගී වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
     
    එසේම, පසුගිය කාලයේ සමාජයේ සිදු වූ විවිධ විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් ලෙස අපරාධකාරී හා ප්‍රචණ්ඩකාරී මානසිකත්වයන් ඇති මිනිසුන් බිහි වී ඇති බව ද එම තත්ත්වය පාලනය කිරීම සඳහා නියත වශයෙන් ම දහම් අධ්‍යාපනය හා සදාචාර සංවර්ධන වැඩසටහන් පුළුල් කළ යුතු බව ද එතුමා අවධාරණය කළේය. එතුමා තවදුරටත් කියා සිටියේ, පවට සහ අකුසලයට බිය සමාජයක් නිර්මාණය කිරීමේ දී ඉරිදා දහම් පාසල සතුව විශාල කාර්ය භාරයක් පවතින බව යි.
     
    මේ අතර, මෙහිදී, ශ්‍රී ධීරාලංකාර දහම් පාසලේ අධ්‍යාපනය ලබන මව හෝ පියා අහිමි දරුවන් වෙනුවෙන් දයාසරණ සංවර්ධන පදනම මගින් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීමට ද අමාත්‍ය දයා ගමගේ මහතා කටයුතු කළේය. එහිදී, තමා ළදරුවකු සමයේ තම පියා ද පාසලේ තුන්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටිය දී තම මව ද අහිමි වූ බව අමාත්‍යවරයා සිහිපත් කළේය. ඉන් පසු තමා ව්‍යාපාරිකයකු හා දේශපාලනඥයකු ලෙස වර්තමානයේ ගොඩනැගී ඇති තත්ත්වය දක්වා කාලය තුළ සිය ජීවිතයේ මුහුණ දීමට සිදු වූ කම්කටොළු හා අභියෝග පිළිබඳව ද සිහිපත් කරමින් දයා ගමගේ මහතා තවදුරටත් කියා සිටියේ, කැපවීම හා උත්සාහය තුළින් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවට තම ජීවිතය සියලූ දෙනාට ම හොඳ ආදර්ශයක් බවයි.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, අද වන විට රටේ සෑම පුද්ගලයකුම රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් ණය වී ඇති බව ද එම ණය බරින් නිදහස් වීමට නම් රටක් ලෙස නිෂ්පාදන ඉහළ නැංවිය යුතු බවද පැවසීය.
     
    ඒ අනුව, මෙම ප්‍රදේශයට ආවේණික වගාවන් හා ප්‍රදේශයේ වගා කළ හැකි කුරුඳු, ගම්මිරිස් වැනි බෝග වල වගා පරිමාණය දෙගුණයකින් ඉහළ නැංවිය යුතු බව ද අදාල නිෂ්පාදනයන් අගය එකතු කිරීමේ නොනිමි ක්‍රියාවලියකට භාජනය කරමින් ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ස්ථායී ඉල්ලූමක් ඇති තත්ත්වයට පත් කිරීම හරහා මෙරට අපනයන ආදායම ඉහළ නැංවිය හැකි වනු ඇතැයිද පැවසීය.
     
    එසේම, එතුළින් දැනට ඉන්දියාව හා මෙක්සිකෝව වෙත අඩු මුදලට අළෙවි වී, පසුව එම රටවල් හරහා සිදුවන අගය එකතු කිරීම තුළින් ජාත්‍යන්තර වෙළඳපොළ තුළ විශාල මුදලක් හිමි වන දේශීය කුරුඳු සඳහා අතරමැදියන් හේතුවෙන් අහිමි වන මුදල් ඍජුවම අප රටට අත්කර ගැනීමේ හැකියාව ද පවතියි.
     
    මෙම අවස්ථාවට රාජකීය පණ්ඩිත පූජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමි, කතරගම වැඩසිටි කන්ද මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය හිනිදුමේ ඤාණානන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya