මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම "පුණ්‍ය ග්‍රාම" ජාතික ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කයෙන්

    පෙබරවාරි 20, 2016
    සාරධර්ම සපිරි ගුණ ගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව ග්‍රාමීය විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් “පුණ්‍ය ග්‍රාම” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් කටයුතු යොදා ඇත.
    මෙම  වැඩසටහන පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක්  දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවැත්විණි.
     
    වත්මන් සමාජය තුළින් වියැකී යන සාරධර්ම රැක ගැනීම වෙනුවෙන් ගිහි පැවිදි කණ්ඩායම් වෙත  පැවරෙන වගකීම් නැවත සමාජගත කිරීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. ප්‍රාදේශීය මට්ටමින් පවත්වනු ලබන මෙම වැඩසටහන මගින් අතීතයේ සිට ගමේ විහාරස්ථානය වටා ගෙතුණු රටේ ආර්ථික, සමාජීය,ආධ්‍යාත්මික හා භෞතික සංවර්ධනය සදහා තරුණ පරපුරේ වගකීම අවබෝධ කර දීම තුළින් විහාරස්ථානය කේන්ද්‍ර කර ගත් ගම් පුණ්‍ය ග්‍රාම බවට පත් කිරීමට අපේක්ෂිතය. 
     
    මෙම වැඩසටහනට එක් වෙමින් අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා “සාරධර්ම සුරැකීමෙන් හා වැඩි දියුණූ කිරීමෙන් අධ්‍යාත්මීය දියුණූව හා විහාරස්ථානය කේන්ද්‍ර කර ගත් භෞතික හා ආර්ථික සංවර්ධනය යන අරමුණූ සාර්ථක කර ගැනීම සදහා බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රථම පුණ්‍ය ග්‍රාම ජාතික ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම සතුටට කරුණක්.
     
    මේ සදහා මූලික වශයෙන් අවශ්‍ය දත්ත ප්‍රාදේශීය මට්ටමින් ඒකරාශී කර ගත යුතුයි.මේ සදහා පොලිසියේ,භික්ෂූන් වහන්සේලාගේ,ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ, ප්‍රදේශයේ තරුණ සමාජ ක්‍රියාකාරින්ගේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ හා ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහය අවශ්‍ය වෙනවා.
     
    විශේෂයෙන් ළමා හිංසන,ලිංගික අපයෝජනය,ළමා ශ්‍රමය යොදා ගැනීම,ගෘහස්ථ කාන්තා හිංසනය, මත් ද්‍රව්‍ය භාවිතය වැනි දුරාචාර පුණ්‍ය ග්‍රාම වැඩසටහන මගින් තුරන් කිරීම සදහා කටයුතු කෙරේ.මේ සදහා පිහිටුවන කමිටු උපයෝගී කරගෙන කටයුතු කළ යුතු වෙනවා.
     
    දැනට සමාජයෙන් ගිලිහී යන සිල් සමාදන් වීම,දහම් පාසල් සංවර්ධනය,භික්ෂූන් වහන්සේලාගෙන් මෙයට වැඩි දායකත්වයක් ලබා ගැනීම, විහාරස්ථානය කේන්ද්‍රීය ඒකකය කර ගැනීම,මෙහිදී අපේ අවධානය යොමු කිරිම වඩා වැදගත්.වර්තමානයේ දහම් පාසල් පවත්වන දිනයේ දී ටියුෂන් පන්ති පැවැත්වීම නතර නොවේ නම් එය දහම් පාසල් පවත්වාගෙන යාමට විශාල බාධාවක්.
     
    මේ සදහා කිතලගම සෝමසාර හිමි පැවසූ පරිදි කඩිනම් වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි.මා රත්නපුර දිස්ත්‍රික්කයේ රාජකාරි වල යෙදෙන අවස්ථාවේ දී දහම් පාසල් පවත්වන ඉරිදා දිනයේ දී පෞද්ගලික පන්ති පැවැත්වීම සම්බන්ධව කතිකාවතක් ඇති කළා.මේ සදහා පළාත් සභාව මගින් අණ පනත් ගෙනාවා.එසේම කොළඹ දිස්ත්‍රික්යේ ත් එවැනි වැඩ පිළිවෙලකට අපි යා යුතු වෙනවා යැයි” දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.
     
    මෙම අවස්ථාවට දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය පත්බේරියේ විමලඥාන හිමියන්, මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී මිරිහාන විවේකාරාමාධිපති පූජ්‍ය කිතලගම සෝමසාර හිමියන් ඇතුලු භික්ෂූන් වහන්සේලා රැසක්, බුද්ධ ශාසන අමාත්‍යංශයේ  අතිරේක ලේකම් රමණී ගුණවර්ධන මහත්මිය,පොලිස් නිලධාරින්, ප්‍රාදේශීය  ලේකම් වරු හා රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වි සිටියහ.
     
    AP/DMU-Colombo
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya