මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා තම සේවාව නිසි ලෙසත්, නොපමාවත් ඉටුකරමින් කටයුතු කරන නායකයෙක්

    මැයි 11, 2014

    තම සේවාව නිසි ලෙසත්, නොපමාවත් ඉටුකරමින් කටයුතු කරන අමාත්‍යවරයකු ලෙස බැසිල් රෝහණ රාජපක්‍ෂ අමාත්‍යවරයා ජනතාවගේ ගෞරවයට පාත‍්‍රවු අමාත්‍යවරයෙක් බවත්, ඔහුගේ ඉදිරි කටයුතු ද සාර්ථක වේවායි තමන් වහන්සේ ප‍්‍රර්ථනා කරන බව කෝට්ටේ ශ‍්‍රී කල්යාණිසාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහානායක, රුක්මලේ ධර්ම විජයාලෝක මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ පැවසූහ.


    තලවතුගොඩ, ගනේලන්ද සිරිනන්දනාරාම රජමහා විහාරයේ නව දෙමහල් දහම් පාසැල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ මුලසුන හොබවමින් ඊයේ (10) පැවති උත්සවයක දි මහානායක හිමියන් සඳහන් කළේ තමන් වහන්සේ දීර්ඝ කාලයක සිට බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා හඳුනන බවත්, අමාත්‍යවරයා බාරගත් කාර්යයක් කල් දැමීමක් හෝ අතපසු කිරීමක් නොකරන බවත්ය.


    කෝට්ටේ ශ‍්‍රීකල්යාණිසාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ ගල්ගොඩ විහාර පාර්ශවයේ ප‍්‍රධාන සංඝනායක මත්තේගොඩ සරණ ධම්ම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පැලන්වත්තේ ධම්මතිලක නායක හිමි, කෝට්ටේ ශ‍්‍රීකල්යාණිසාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප‍්‍රධාන ලේඛකාධිකාරී කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නායක ස්වාමින්වහන්සේ, කෝට්ටේ ශ‍්‍රීකල්යාණිසාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප‍්‍රධාන වත්ත පටිපාදක අතුරුගිරිය, පෝරේ, ශ‍්‍රී මහා විහාරාධිපති කොළඹ නව කෝරළයේ සහ නව තොටමුනේ උප ප‍්‍රධාන සංඝ නායක පූජ්‍ය රුක්මලේ ධම්ම කීර්ති මාහිමිපාණන්, සීනාදිසිව් කෝරළයේ උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය තලවතුගොඩ විමලධම්ම හිමිඇතුළු මහ සංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම පුණ්‍ය උත්සවයේ ප‍්‍රධාන ගිහි ආරාධිත අමුත්තා ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහභාගි විය.


    මෙහි දි අනුශාසනාවක් සිදුකළ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නායක ස්වාමින්වහන්සේ, සඳහන් කළේ රටක ආර්ථික සංවර්ධනය මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනය ද සිදුවීම ඒම රටේ සංවර්ධනයට එක ලෙස බලපාන බවත්, ඒ සඳහා රටේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා සිදුකරන සේවාව අති මහත් වන බවත්ය. ඔහු කතා කරනවාට වඩා වැඩ කර පෙන්වන නායකයෙකු බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.


    තව දුරටත් අදහස් දැක්වු උන්වහන්සේ සඳහන් කළේ පන්සල මුල් කරගනිමින් පැවැත්වෙන දහම් පාසල් හේතුවෙන් සාර ධර්ම පිරි සමාජයක් ඇතිකළ හැකි බවය. එලෙස ආධ්‍යාත්මික සංවර්ධනය රට තුළ සාර්ථකව සිදුවන විට පොලිසි, හිර ගෙවල් ඇතුළු අංශ සඳහා වැයවන විශාල මුදලක් ඉතිරි කරගත හැකි බවද පැවසු උන්වහන්සේ පෙන්වා දුන්නේ පන්සල මුල් කරගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතිය සහිත සමාජයක් බිහිකිරීම රටේ සංචාරක ව්‍යාපාරය දියුණුවටද හේතු වන බවය.


    ප‍්‍රංශයේ ටුවර් ප‍්‍රදේශයේ පෞරාණික පල්ලියක් කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගුණු එම රටේ සංස්කෘතික සමාජය හේතුවෙන් එම ප‍්‍රදේශයට සංචාරකයින් පැමිණීම ආරම්භ වු බවත්, එය පසුව ටුවරිසම් ලෙස සංචාරක ව්‍යාපාරය ලොව පුරා ව්‍යාප්ත වීමට හේතු වු බවත්, පෙන්වා දුන් උන්වහන්සේ  ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය විඳීමට මිස බටහිර සංස්කෘතියක් විඳීමට නොවන බවද පෙන්වා දුන්හ.


    මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේ යහපත් සමාජයක් ගොඩ නැඟීම සඳහා දහම් පාසල් හරහා ගරුතර මහ සංඝරත්නය සිදුකරන සේවාව අති මහත් බවත්, කුරිරු ත‍්‍රස්තවාදය නොමැති ගුණ ගරුක අනාගත සමාජයක් බිහි කිරීමට එය ඉවහල් වන බවත්ය. ලක්‍ෂ 19 ආසන්න ළමුන් පිරිසක් අද වන විට දහම් පාසල් අධ්‍යාපනය ලබන බවත් පැවසු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වෙනත් ආගම්ද අද වන විට දහම් පාසල් ආරම්භ කර ඇති බවය.


    ගනේලන්ද සිරිනන්දනාරාම රජමහා විහාරය  කෝට්ටේ යුගයට අයත් 6 වන පරාක‍්‍රමබාහු (ක‍්‍රි.ව. 1412 – 1467)  රාජ සමයේ ආරම්භ කර ඇති අතර අද වන විට ප‍්‍රදේශයේ බෞද්ධ ප‍්‍රබෝධය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරයි. විහාරයට අනුබද්ධ ගැමුණු දහම් පාසල සිංහල සහ ඉංග‍්‍රීසිමාධ්‍යයෙන් දහම් අධ්‍යාපනය ලබාදෙන අතර සිංහල මාධ්‍ය දහම් පාසැලේ සිසුන් 800ක් පමණද, ඉංග‍්‍රීසි මාධ්‍ය දහම් පාසැලේ සිසුන් 400ක් පමණද ඉගෙනුම ලබති. ඔවුන්ගේ ප‍්‍රයෝජනය සඳහා ඉදිකළ මෙම ගොඩනැගිල්ල සඳහා රුපියල් කෝටි 3.5ක පමණ මුදලක් වැයවී ඇති අතර ඒ සඳහා ප‍්‍රදේශයේ දේශපාලන නායකයින්, දානපතීන්, දායක සභාව අනුග‍්‍රහය දක්වා තිබේ.


    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා, කෝට්ටෙ ශ‍්‍රී.ල.නි.ප. ප‍්‍රධාන සංවිධායක රෝහිත බෝගොල්ලාගම, බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ජගත් කුමාර, මහරගම නගරාධිපති කාන්ති කොඩිකාර, රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ප‍්‍රදීප් ගුණවර්ධන යන මහත්ම මහත්මින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.


    HC/med

    ganelanda temple opening 1

    ganelanda temple opening 2

    ganelanda temple opening 3

    ganelanda temple opening 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya