සූදානමකින් තොරව කාරක සභාව ඉදිරියේ කරුණු දැක්වීමට පැමිණීම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පසුගියදා(10) කෝපා කමිටුවේ දැඩි අප්‍රසාධය පළ විය.
මේ අනුව ඉදිරි දිනකදී නැවත පැමිණීමට දැනුම්දෙන බවත් එදින සූදානම්වී පැමිණෙන ලෙසත් දන්වමින් පැමිණි නිලධාරීන් නැවත හරවා යැවීම සිදුවිය.
මෙසේ නිලධාරීන් හරවා යැවීම සිදුවූයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020, 2021, 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පසුගිය රැස්වීම්වලදී ලබාදුන් නියෝග ඉටුකිරීම සම්බන්ධයෙන් විමසා සිටින ලදි. විශේෂයෙන්ම රේගු පරිගණක පද්ධතිය සමග සම්බන්ධවීමට ප්‍රථම, සිදුවූ අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු 25ක් පිළිබඳ සිදු කළ පරීක්ෂණ හා එම කටයුතුවලට වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව ගත් විනය ක්‍රියාමාර්ග ඇතුළු වර්තමාන තත්ත්වය සඳහන් කරමින් කාරක සභාවට වාර්තාවක් ලබා දිය යුතුව තිබූ බවත් එය ලබා දී නොමැති බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙහිදී නිලධාරීන් වාර්තාවක් ලබා දී ඇති බව පැවසුවත් විගණකාධිවරයා එය තමාට ලැබී නැති බව පැවසීය. මෙහිදී ලබාදුන්නේ යැයි පැවසූ වාර්තාවේ පිටපතක් සභාගත කළ අතර එම පිටපත පරීක්ෂා කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව විගණකාධිපතිවරයා කාරක සභාවට පැවසීය. මේ අනුව මේ සම්බන්ධයන් දීර්ඝ වශයෙන් කමිටුව කරුණු විමසූ අතර නිලධාරීන් එ් සඳහා පිළිතුරු ලබාදීමට අපොහොසත් විය. නිලධාරීන් පෙන්වා දුන්නේ පැරණි තොරතුරු තමන් සතුව නොමැති බවයි.
මේ අනුව කාරක සභාව නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පල කරමින් මෙම ආයතනය නැවත කැඳවන බව දන්වමින් කාරක සභාව අතරමග නැවැත්වීමට කටයුතු කළේය. එසේ පැමිණෙන දින හොඳින් සූදානම්වී පැමිණෙන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබාදීම ද කාරක සභාව විසින් කටයුතු කරන ලදි.
මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, සුගත් තිලකරත්න, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන චන්දන සූරියආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, ඔෂානි උමංගා, සුසන්ත කුමාර නවරත්න, (වෛද්‍ය) ජනක සේනාරත්න, දිනිඳු සමන් සහ ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.