මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව වර්ණයකින් හෙට ලොව දකින ගුරුනගර්

    ජූනි 16, 2014
    ත්‍රස්තවාදීන‍්ගේ ප්‍රහාරවලින් විනාශ වූ යාපනය, ගුරුනගර් මහල් නිවාස සංකීර්ණය වසර 29කට පසු රුපියල් මිලියන 100ක වියදමින් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය ජූනි 15 වැනිදා ජනතා අයිතියට පත් කෙරුණි. 
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක "ජනසෙවණ" නිවාස දස ලක්ෂයේ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක නඟමු පුරවර වැඩසටහන යටතේ  යාපනය ගුරුනගර් මහල් නිවාස ව්‍යාපෘතිය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කෙරිණ.
     
    1985 වර්ෂයේදී ආරම්භ කරන ලද යාපනය ගුරුනගර් මහල් නිවාස ව්‍යාපෘතිය මහල් 5කින් සමන්විත ගොඩනැගිලි 8කින් යුක්තය. මෙම නිවාස සංකීර්ණයේ නිවාස 160ක් පිහිටා ඇති අතර එහි එක් නිවසක් වර්ග අඩි 435ක් පමණ වේ. 
     
    ගුරුනගර් නිවාස ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විමල් වීරවංශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර තිබිණ. ඒ අනුව, 2013 වර්ෂයේ අප්‍රේල් මාසයේදී විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් විනාශ වූ ගුරුනගර් නිවාස ව්‍යාපෘතිය නිරීක්ෂණය කරනු ලැබීමෙන් අනතුරුව එහි ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පවරන ලදී. 
     
    ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම මත ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකල අතර වසරක් ඇතුළත සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලදී.
     
    මෙහිදී, දැඩි ලෙස හානි සිදු වූ ගොඩනැගිලි 2ක වහල සම්පූර්ණයෙන් පිළිසකර කිරීම සහ පස්වන මහලේ නිවාසවල සියලුම අලුත්වැඩියාවන් සිදුකිරීම, ඉතුරු ගොඩනැගිලි 6ක පර්ලින්, වඩිම්බු ලෑලි සහ ඇස්බැස්ටස් තහඩු අවශ්‍ය පරිදි අලුතින් යොදා ගනිමින් වහල අලුත්වැඩියා කිරීම, සියලු ගොඩනැගිලිවල ව්‍යුහමය වශයෙන් හානි සිදුවී ඇති කොන්ක්‍රීට් කණු, තලාද ස්ලැබ් නිසි පරිදි අලුත්වැඩියා කිරීම, සියලු ගොඩනැගිලි සඳහා වැහිපීලි, දිය බස්නා නල හා වැහි කූඩු සිවිලිම යොදා අලුතින් සවි කිරීම, සෑම නිවසකටම අවශ්‍ය ජල නල එලීම හා පොදු ජල ටැංකි අවශ්‍ය පරිදි ස්ථානගත කිරීම, නිවාස 160කට අයත් නාන කාමර, වැසිකිළි ජල රෝධක කර ටයිල් අල්ලා අවශ්‍ය උපාංග සවි කිරීම, මුළුතැන්ගෙයි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම, දුර්වල විදුලි පද්ධති සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරිම හා විදුලි උපාංග අලුතින් සවි කිරීම, සෑම ගොඩනැගිල්ලකටම අයත් විදුලි මීටර් පහත මාලයේ ඇතුළු වන ස්ථානයේ සවි කිරීම සහ ඒ ස‍ඳහා අවශ්‍ය කාමර සකස් කිරීම, ප්‍රධාන දොර ඇතුළුව පිටත ජනෙල් රාමු සියල්ල අලුතින් සවිකර නවීකරණය කිරීම, සියලු ගොඩනැගිලි වර්ණාලේප කිරීම ආදී ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත. 
     
    ගොඩනැගිල්ලෙන් පිටත සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතු යටතේ පෙර නිමි පූතික ටැංකි 08ක් ස්ථානගත කර, මළනාලිකා පද්ධතිය සම්පූර්ණයෙන් ඉදිකිරීම, අප ජල පිරිපහදුව සඳහා පොදු පෙරහන් ටැංකිය ඉදිකිරීම, ප්‍රධාන මාර්ගයේ බෝක්කු (Box Culvert) 03ක් අලුතින් ඉදිකර මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන් සකස් කිරීම, ප්‍රධාන වැසි ජල කාණුව පිරිසිදු කර අලුත්වැඩියා කිරීම, ප්‍රධාන පොදු නාන ළිං 03ක් අලුත්වැඩියා කිරීම, පොම්පාගාර 04ක් නවීකරණය කිරීම හා 
    අලුතින් පොම්ප සවි කිරීම, පානීය ජලය සැපයීම සඳහා ප්‍රධාන ජල කුලුණ අලුත්වැඩියා කිරීම, ප්‍රජා ශාලාව සම්පූර්ණයෙන් පිළිසකර කිරීම හා විදුලිය, ජල නල පහසුකම් සපයා දීම, කතෝලික දේවස්ථානය, සමූපකාරය, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආදී පොදු ගොඩනැගිලි තීන්ත අලේප කොට අලුත්වැඩියා කිරීම, ඒකාබද්ධ කළමනාකරණ සංස්ථාව සඳහා කාර්යාලයීය පහසුකම් සැපයීම, ළමා ක්‍රීඩාංගණය නවීකරණය කිරීම, උද්‍යාන අලංකරණ කටයුතු සිදු කිරීම ආදී ප්‍රතිසංස්කරණ රැසක් මෙහිදී සිදු කර තිබේ.
    MP WW GURUNAGAR 3   MP WW GURUNAGAR 4
     
    ත්‍රස්තවාදී ප්‍රහාරවලින් විනාශ වී තිබූ ගුරු නගර් නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු  ආරම්භ කිරීම වෙනුවෙන්  විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාරම්භක උත්සව අවස්ථාවට සහභාගී වූ එම මහල් නිවාස සංකීර්ණයේ වැසියන් මුහුණදුන් දුෂ්කරතාවන් හා අමිහිරි අත්දැකීම් පිළිබඳව අදහස් දැක්වනු ලැබීය.
     
    එහිදී අදහස් දැක්වූ  මෝහන් මහතා ප්‍රකාශ කර සිටියේ "1995 අවුරුද්දෙ අපි යුද්ධය නිසා වෙන පළාතකට ගිහින් පදිංචිවෙලා හිටියා. අපි නැවත එනවිට මේ ගොඩනැගිල්ලට ගොඩක් හානිවෙලා තිබුණා. අපිට ඉතිං යන්න වෙන තැනක් නැති නිසා මේ ගොඩනැගිල්ලෙම එදා ඉඳලා අද වෙනකන්ම පදිංචි වෙලා ඉන්නවා. මේ ගොඩනැගිල්ල හැදුවේ 1985 අවුරුද්දේ. මේක තමයි යාපනේ දිස්ත්‍රික්කයේ තිබ්බ තට්ටු 5ක් තියෙන උසම ගොඩනැගිල්ල. ඒ වගේ එකම මහල් නිවාස සංකීර්ණය. දැන් මේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරන්න රුපියල් ලක්ෂ 1000ක් වෙන්කරලා කටයුතු කිරීම ඉතා වැදගත්. ඒකට ගොඩක් ස්තූති කරනවා" යනුවෙන් පැවසීය.
     
    මෙහිදී අදහස් දක්වමින්  එමැනුවෙල් නායහී මහත්මිය ප්‍රකාශකර සිටියේ "1985 මේ නිවාස දුන්න කාලේ ඉදලම අපි පදිංචිවෙලා ඉන්නවා. 1990 දී යුද්ධය නිසා අපි අවතැන් වුණා. මගේ පවුලේ ගොඩක් ඥාතීන් යුද්ධයේදී ෂෙල් ප්‍රහාර වැදිලා මියගියා. මගේ තවත් ඥාතීන් අවතැන්වෙලා ඉන්දියාවටත් ගියා. ඒ කාලේදීත් අපි ජීවත්වුණේ මුහුදෙන් මාළු  අල්ලලා විකුණාගෙන. අපිට වතුර නෑ. වැසිකිළි පහසුකම් නැහැ. ඒ ගැන කවුරුත් අපෙන් අහන්නෙත් නෑ. අපේ දුක බලන්නෙත් නෑ. උදව් කරන්නෙත් නෑ. විමල් වීරවංශ ඇමතිතුමා මේ ගොඩනැගිල්ල නැවත ප්‍රතිසංස්කරණය කරලා දෙනවා. ඉතිං අපි ඒ නිසා ජනාධිපතිතුමාටත්, ඇමතිතුමාටත් මේ පවුල් 160 වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා ” යනුවෙන්ද පැවසුවාය.
     
    2013 වසරේ ආරම්භ කළ ගුරුනගර් මහල් නිවාස සංකීර්ණයේ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අද යළි ජනතා අයිතියට පත්ව තිබේ. වසර 30 පුරාවට තිබූ යුධ බිය අද ඔවුන් වෙතින් ඈත්ව ගොස්ය. ඔවුන්ට අවැසිව තිබුණේ සාමකාමී පරිසරයක් හා හිසට නිවහනකි. වත්මන් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ඔවුන්ගේ ඒ සියලු බලාපොරොත්තු එකින් එක මල්ඵල ගන්වමින් සිටී. තම නිවාස සංකීර්ණය ප්‍රතිසංස්කරණය කරවාගන්නටද ඔවුන්ට අහස උසට බලාපොරොත්තු තිබෙන්නට ඇත. "මහින්ද චින්තන" වැඩපිළිවෙළ යථාර්ථයක් කරමින් ඔවුන්ගේ ඒ බලාපොරොත්තුවද අද මල්ඵලගැන් වී අවසන්ය. ඔවුන් හෙට ලොව දකිනු ඇත්තේ මේ ගුරුනගර් මහල් නිවාස සංකීර්ණයේ වර්ණාලේපිත නැවුම් වර්ණයෙන් වනු නිසැකය. 
     
    - දිල්හාරි බණ්ඩාර - 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya