නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට විදේශ විනිමය උපයාදෙන රන් දොරටු දෙකක් අද විවර වෙයි

    ජූනි 22, 2014

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය මැතිවරණ කොට්ඨාසයේ පැරණි කරගං ලේවාය පිහිටි භූමිය මාගම්පුර වරාය ව්‍යාපෘතිය සඳහා තෝරා ගැනීමෙන් පසු ව එහි ඉදිකිරීම් ආරම්භ කෙරුණි.


    වාර්ෂික වර්ෂාපතනය අඟල් 34-50 ප‍්‍රමාණයක් වන ශුෂ්ක කලාපිය දේශගුණයකට හිමිකම් කියන හම්බන්තොට සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 34-50 ප‍්‍රමාණයක පවතී. වරායක් සඳහා වඩාත් උචිත දේශගුණික තත්ත්වයක් හා සමුද්‍රයේ ගැඹුර පවතින අතර. අඩු ජනඝත්වය හා භාවිත කළ හැකි ඉඩම් බහුලව තිබෙන ප්‍රදේශයකි. හම්බන්තොට වෙරළාශ‍්‍රිත අභ්‍යන්තර භූමිය මුහුදු මට්ටමට වඩා පහතින් ඇති නිසා ලුණු ලේවායක් ද එහි පිහිටා තිබේ.
     

    ඓතිහාසික සාධක පිළිබඳ තොරතුරු


    මහා වංශය වැනි ලිඛිත මූලාශ‍්‍ර ද වෙනත් පුරා විද්‍යාත්මක විශ්ලේෂණයන් අනුව ද ජනවහර අනුව හම්බන්තොට වසර දෙදහස් පන්සියකට වඩා ඉතිහාසයකට නෑකම් කියන අතර ඉතා නුදුරේදී පුරා විද්‍යාත්මක කැනීම් සිදු කොට බූන්දල දී සොයාගත් සාධක අනුව බලන කළ එය වසර තිස්දහසක ඉතිහාසයක් දක්වා දිව යයි.


    පුරාණ මාගම රාජධානිය ඇසුරු කොටගත් හම්බන්තොට පුරාණ ‘ගොඩවාය’ වරාය හේතුවෙන් අනාදිමත් කාලයක සිට වෙළඳ කේන්ද්‍රස්ථානයක් ලෙස ජනාවාසව පැවැති බවටත්, ශ‍්‍රී ලංකාවේ සෑම රාජ්‍ය යුගයකට ම ඉතා වැදගත් ප‍්‍රදේශයක්ව පැවැති බවටත් සාධක පවතී.


    පවත්නා භූවිෂමතා හේතුවෙන් පුරාණයේ සිටම ලුණු කර්මාන්තය සඳහා හම්බන්තොට ප‍්‍රදේශයට රාජ්‍ය අනුග‍්‍රහය හා අවධානය යොමු වී ඇත. විශේෂයෙන්ම යටත් විජිත යුගයන්හිදී යටත් විජිත පාලකයන්ගේ පාලන මර්මස්ථානයක් ලෙස හම්බන්තොට පැවැති බවට ද සාධක ඇත. හම්බන්තොට පිළිබඳ ඓතිහාසික පුරාවෘත්ත අතර වඩාත් ප‍්‍රචලිත වන්නේ දකුණු ඉන්දියාව දිග්විජය කළ ගජබා රජු එරටින් අල්ලාගත් සොළීන් සොළොස් දහස ද සමග ගොඩ බටුයේ මෙම තොටුපළින් යන්නයි. එම සොළීන් පැමිණි යාත‍්‍රා හැදින්වූයේ ‘හම්බන්’ ලෙසින් බැවින් මෙය හම්බන්තොට වූ බවයි.


    මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් පවසන්නේ මෙම ප‍්‍රදේශය පුරාණයේ පටන්ම මුහුදු යාත‍්‍රිකයින්ගේ යාත‍්‍රා ආරක්‍ෂිතව නවතා තැබිය හැක ස්ථානයක් ලෙසින් පැවති බවත් මැලේසියානුවන් ශ‍්‍රී ලංකාවට පැමිණි තොටුපළ නිසා හම්බන්තොට වූ බවත්ය. ඉංග‍්‍රිසින් විසින් උඩරට රජු අවනත කරගැනීමට ‘ලුණු ලේවාය’ තම පාලනට ගෙන ඒ සඳහා ‘මැලේ රයිෆල් රෙජිමේන්තුවක්’ මෙහි ස්ථාපිත කළේය.


    යටත් විජිත ආරම්භ අවධියේම හම්බන්තොට නගරය ද පෘතුගීසින් අතටත් පසුව ලන්දේසින් අතටත් පත්විය. ලන්දේසීන් විසින් සිය නැගෙනහිර සේනාංකය ස්ථාපිත කළ ස්ථානය ද හම්බන්තොට විය.


    හම්බන්තොට පිළිබඳ වඩාත් සවිස්තර වාර්තා සපයන්නේ ඉංග‍්‍රීසි පාලන අවදියයි. හම්බන්තොට නාගරික ජනාවාසයක් ලෙස දියුණු වන්නේ ද මෙම යුගයේදීය. හම්බන්තොට නාවික වරායක් ලෙස දියුණුව පැවති අතර බි‍්‍රතාන්‍ය වාර්තාවලට අනුව ‘වෝකර් පුත‍්‍ර’ සමාගම විසින් සෑම මසකම භාණ්ඩ නැව් කිහිපයක් මෙම වරාය තොටුපලින් යැවූ බව වාර්තා වෙයි.


    හම්බන්තොට නගරය ඉතා දර්ශනීය වන්නේ වෙරළ හා බැඳී ඇති මීටර් 18ක් පමණ උස වන කඳුගැට හේතුවෙනි. හම්බන්තොට ඓතිහාසික කච්චේරිය, තානායම ආදිය පිහිටා ඇත්තේ මෙම කඳුගැටය මුදුනේය.


    අද ද හම්බන්තොට නගරයේ ඉංග‍්‍රීසි පාලනයේ නෂ්ටාවශේෂ දැකිය හැකිය. මාටෙලෝ කුලුන, එල්ලුම්ගස, ප‍්‍රදීපාගාරය, කච්චේරිය හා සුසාන භූමිය ඉන් විශේෂ තැනක් ගනී.


    හම්බන්තොට පිළිබඳ ඓතිහාසික සාක්‍ෂි ගවේෂණයේදී ඉතා ප‍්‍රචලිත සාක්‍ෂියක් තබා ඇත්තේ ඉංග‍්‍රීසි පාලන සමයේ සිටි සිවිල් නිලධාරියකු වන ලෙනාඩ් වුල්ෆ් විසිනි. ඉතා සංවේදී මිනිසෙකු වූ ඔහු විසින් හම්බන්තොට බැද්දේගම පැවති වනගත ගම්මානයක් පසුබිම් කොටගෙන ලියන ලද ‘බැද්දේගම’ හෙවත් ''Village in the Jungle'' කෘතිය විශ්ව කීර්තියට පත් කෘතියකි.


    සමහර වාර්තාවලට අනුව මෑත කාලයේ හම්බන්තොට ජාත්‍යන්තර වරායක් පිළිබඳව මුලින්ම අදහස් පළකොට ඇත්තේ ද ලෙනාඩ් වුල්ෆ් විසිනි.


    ඊට අමතරව වරින් වර ශ‍්‍රී ලංකාව වෙත දේශාටනයේ යෙදුනු අරාබි, රෝම, චීන, පර්සියානු දේශාඨකයින්ගේ දේශාඨක වාර්තාවන්හි ද හම්බන්තොට පිළිබඳව සඳහන් වේ.
     

    මෑත කාලීන සාධක පිළිබඳ තොරතුරු


    හම්බන්තොටින් රාජ්‍ය මන්ත‍්‍රණ සභාව නියෝජනය කළේ පළමුවෙන්ම ඩී.එම්. රාජපක්‍ෂ මහතායි. ඔහුගේ වියෝවෙන් පසුව ඩී.ඒ. රාජපක්‍ෂ මහතා හම්බන්තොට ජනතා නියෝජිතයා විය. එදා හම්බන්තොටට ලොකුම සිහිනය වූයේ ධීවර වරායකි. එයද ප‍්‍රදේශයේ ධීවර ජනතාවගේ අවශ්‍යතාවක් විය. නමුත් දුර දක්නා නුවණින් යුතු වූ ඩී.ඒ. රාජපක්‍ෂයන් විසින් හම්බන්තොටට වරායක ඇති වැදගත්කම දුටුවේය. ත‍්‍රිකුණාමලය හා ගාල්ල අතර ප‍්‍රදේශයේ වරායක් නොතිබීම මෙන් ම දියුණුවන නැව් ගමනාගමනය නිසා හම්බන්තොට අසල මුහුද නැව්වලින් ගහන වීම ද ඔහු නිරීක්‍ෂණය කළේය. මේ නැව්වලට එළවළු ටිකයි වතුර ටිකයි දිය හැකි බව ද ඔහු දුටුවේය. නමුත් ඔහුගේ මතය ඉහළ නාවේ ඒ වන තුරුත් ලොව පුරා සියලු ආර්ථිකයන් ආවෘතව පැවතීමත් ලංකාවේ සියලු වෙළඳ ඒකාධිකාරයන් කොළඹ වරාය හා නගරය කේන්ද්‍රවත් පැවතුණ බැවිණි.


    මේ තත්ත්වය මෙලෙස තිබියදීම 1978 වර්ෂයේ කොළඹ වරාය එතෙක් සිය ගමන් මග වෙනස් කොට ක්‍ෂණිකව නුතන වරායක් බවට පත්වී එය බහළු වරායක් බවට පත් වි ය. ඒ සඳහා අවශය සියලූ පහසුකම්වලින් වරාය පෝෂණය වීමත් නිසා ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. වෙනදා කොළඹ වරාය වෙත නො ආ සුවිශාල නෞකාවලින් ගාලු මුවදොර පිරෙන්නට විය. මෙයට සමගාමීව ලොව පුරා ඇති වූ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය හේතුවෙන් සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව, චීනය, ජපානය, ඩුබායි වැනි රටවල් සීග‍්‍ර සංවර්ධනයකට මුල පිරීය. ලොව පුරා ආයතන නිර්යාත තත්ත්වය දියුණු වී භාණ්ඩ ප‍්‍රවාහනය සුවිශාල ජාලගත ව්‍යාපාරයක් බවට පත්විණි. මේ නිසා හම්බන්තොට සිට කිලෝමීටර් 05ක් හෝ 06ක් දුරින් පිහිටි මුහුදු කලාපය කාර්යක්‍ෂම හා සංකීර්ණ නෞකා මාර්ගයක් බවට පත්වි ය. ඒ අද වන විට දිනකට නෞකා 200-300ක් එහා මෙහා යන ස්ථානයක්ව තිබේ.


    මේ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටත් නොයෙක් අවස්ථාවල අදහස් පළ වුව ද ඒවා සාක්‍ෂාත් කර ගත නොහැකි වූ හුදු අදහස් පමණක් ම වි ය.


    එසේ වුව ද වත්මන් ජනාධිපති අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා 2001 වර්ෂයේ එවකට පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ වරාය විෂයභාර අමාත්‍යවරයා ලෙස මාස තුනක පමණ කාලයක් සඳහා පත්වීම හම්බන්තොට වරාය සිහිනය පිළිබඳ ඓතිහාසික කථාවම යථාර්ථයක් වීමේ අරුණැල්ලක් ලෙස දැක්විය හැක.


    2005 වර්ෂයේ දී මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපතිතුමා ලෙස තේරීමත් සමග මෙය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා සිය මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මත පදනම්ව ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර නාවික මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගීමේ යෝධ වැඩපිළිවෙළ යටතේ ඉදිවන වරායන් 05ක් අතරින් එක් වරායක් ලෙස මාගම්පුර වරාය ඔහුගේ අවධානයට යොමු විය. ඒ පිළිබඳව ඔහු විසින් සිය ‘මහින්ද චින්තන’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ 58 වන පිටුවේ මෙලෙස සටහන් තබයි.


    ‘‘අප රට යළිත් ආසියානු සේද මාවතේ මුතු ඇටය බවට පත් කරවන්නට මම අධිෂ්ඨාන කරගෙන සිටින්නෙමි. අපේ රටේ එහි විශිෂ්ඨ භූගොලීය පිහිටීම උපයෝගී කරගනිමින් බටහිර හා නැගෙනහිර යා කෙරෙන නාවුක, ගුවන්, වාණිජ හා වෙළඳ කේන්ද්‍රයක් ලෙස දියුණු කරන්නෙමි. හම්බන්තොට අංග සම්පූර්ණ අතරමැදි වරායක් ලෙස නිර්මාණය කරන්නෙමි.’’


    ජාත්‍යන්තර නැව්වලට අවශ්‍ය ඉන්ධන සකස් කළ ආහාර, ඖෂධ හා වෙනත් සේවාවන් සැපයීම සඳහා හම්බන්තොට සිට ඇඹිලිපිටිය දක්වා ප‍්‍රදේශය ආවරණය වන ආර්ථික කලාපයක් පිහිටුවන්නෙමි’ යනුවෙන් සඳහන් වේ.


    හම්බන්තොට ජාත්‍යන්තර වරායක් ඉදිවීම කෙරෙහි බලපාන ජාත්‍යන්තර සාධක දේශීය පරිභෝජන අවශ්‍යතා පදනම් කරගත් සංකල්පයක සිට හම්බන්තොට වරායක් ඉදිකිරීම, මාගම්පුර වරාය පිළිබඳ කවර කලෙක වුව ද ඇති වූ කතිකාවතකට මුල් නොවී ය. හම්බන්තොට වරායක් ඉදිකිරීම සඳහා මූලික ම සාධකය වන්නේ ජාත්‍යන්තර නෞකා මාර්ගය පෙනෙන මානයේ වීමයි. එමෙන් ම දේශීයව ද තිස්වසරක යුද්ධය නිමාවත් සමග නැගෙනහිර ප‍්‍රදේශයේ වන සංවර්ධනය සඳහා මාගම්පුර වරාය කේන්ද්‍රස්ථානයක් කර ගැනීමේ හැකියාව උදාවී ම ද අතුරු ඵලයකි.


    ආසියානු, අප‍්‍රිකානු හා  ඕෂනියානු මහද්වීප තුනට කේන්ද්‍රීය භූගෝලීය පිහිටීමක දිවයිනක් ලෙස ශ‍්‍රී ලංකාව පිහිටා තිබීම නාවික ගමනා ගමනයේ ඓතිහාසික තත්ත්වයකි. එය ම යුගයෙන් යුගයට එක්ව අද වන විට දැවැන්ත ආර්ථික ශක්තියකට උරුමකම් කියන මැදපෙරදිග, ඉන්දියා, චීන, මලයා අර්ධද්වීපය,  ඕස්ටේ‍්‍රලියාව යන කලාපයට මැදිව සිටීම ලොව දෙවන හා සිව්වන ආර්ථික ශක්තීන් වන චීනය හා ඉන්දියාව ආසන්නයේ සිටීමත් හම්බන්තොට වාරයක් ඉදිකොට එය සක‍්‍රීය මෙහෙයුම් කලාපයක් බවට පත් කිරීම කෙරෙහි හේතු වී තිබේ.මැදපෙරදිග හා අප‍්‍රිකානු කලාපයේ සිට පැමිණෙන නෞකාවන් හා අග්නිදිග ආසියා හා ඕෂනියා කලාපයේ සිට ගමන් ගන්නා නෞකාවන්ට සිය ගමන් වාරය අතරතුර දී සේවා පහසුකම් සලසා ගත හැකි අතර මැදි ස්ථානයක අවශ්‍යතාවක් පවතී. ඒ සඳහා සුදුසු ම ස්ථානය වන්නේ හම්බන්තොට යි. ජලය, ඖෂධ ආහාර හා පලතුරු ලබා ගැනීමේ මෙන් ම, ඉන්ධන හා කාර්ය මණ්ඩල හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ද මාගම්පුර වරායට කළ හැකි සුවිශේෂී කාර්ය භාරයක් වේ. එය ජාත්‍යන්තර අවශ්‍යතාවක් මෙන් ම රට ට විදේශ විනිමය ලබා ගත හැකි ක‍්‍රමවේදයකි.
     

    එමෙන් ම ඉන්දියානු අර්ධද්වීපයේ බටහිර හා නැගෙනහිර අතර කෙරෙන භාණ්ඩ හුවමාරුවේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ද ඉතා පහසුවෙන් ම හම්බන්තොට භාවිත කළ හැකි ය.


    චීනය හා ඉන්දියාව වටා ඒකරාශී වන ජාත්‍යන්තර වෙළඳ ජාලයේ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව පත් වන විට, හොංකොං, සිංගප්පූරු, ඩුබායි වරායයන්ගේ තත්ත්වය හම්බන්තොටට ලැබෙනු ඇත. මාගම්පුර වරාය සතු හෙක්ටයාර් 2000ක පමණ භූමිය ලොව පුරා කර්මාන්තකරුවන්ට විශේෂ බදු පහසුකම් යටතේ සිය කර්මාන්තශාලා පවත්වාගෙන යාමට ඉඩකඩ සලසා දෙයි.


    එමෙන් ම යුද්ධයෙන් තොර සාමකාමී වාතාවරණයක් යටතේ ජාත්‍යන්තර ආයෝජකයින් හම්බන්තොට වරාය සිය අවශ්‍යතාව පරිදි පරිහරණය කළ හැකි ය.
     

    දේශීය සාධක


    හම්බන්තොට වරායක් ඉදිකිරීම සඳහා මූලික ම දේශීය සාධකය වන්නේ මහින්ද චින්තන ප‍්‍රතිපත්තියේ පංචබල කේන්ද්‍ර සංකල්පයයි. ඒ යටතේ නව වරාය ගොඩනැගීමේ දී වරායකට වඩාත් යෝග්‍ය ම හා අනාගත ‘නූතන’ නගරයක් නිර්මාණය වීමට වඩාත් උචිත ම කලාපය ලෙස හම්බන්තොට පත්වන්නේ නොයෙක් කරුණු කාරණා පදනම් කර ගෙන ය.
     

    ශ‍්‍රී ලංකාවේ ඉතා දුෂ්කර ම හා දරිද්‍රතාව ඉහළ මට්ටමක පවතින කලාපයක් තුළ මෙම වරාය ඉදිවීම නිසා ම දිස්ත‍්‍රික්ක කීපයක ම ජනතාවට සෙත සැලසෙනු ඇත.


    x උගත් තරුණ තරුණියක් සඳහා ඍජු රැකියා අවස්ථා 5000-6000ක් අතර ප‍්‍රමාණයක් ලැබේ.

    x ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් හට වක‍්‍ර රැකියා අවස්ථා ද 25000-50000ක් අතර ප‍්‍රමාණයක් උදා වේ.

    x ප‍්‍රදේශයේ ගොවීන්ට සිය එළවළු හා පලතුරු සඳහා ජාත්‍යන්තර වෙළඳපොළක් නිර්මාණය වීම.

    x ජාත්‍යන්තර නෞකා අවශ්‍යතා සඳහා වන ශ‍්‍රම වෙළඳපොළට පුහුණු ශ‍්‍රමිකයන් ලෙස බැඳීමට අවස්ථාව උදා වීම.

    x නව ව්‍යාපාරික අවස්ථා උදාවීම හා නිර්මාණය කර ගැනීමට හැකි වීම.

    x සංවර්ධන අවශ්‍යතාවන් සඳහා කාර්මික වරායක් ලෙස යොදා ගැනීම ආදිය ගෙනහැර දැක්විය හැක.
     

    මේ අනුව ප‍්‍රාදේශීය සංවර්ධනය ඇති කිරීමට හැකිවීම හා විදේශ විනිමය ලබාගෙන රටේ ආර්ථික තත්ත්වය ඉහළ නංවා ගැනීමට අරමුණු කර ගැනීම දේශීය සාධක අතර වේ.
     

    එමෙන් ම නව වරායක් සඳහා සුදුසු ම භූමියක් ලෙස දැනට මාගම්පුර වරාය ඉදිකෙරෙන භූමිය දැක්විය හැක. වරායකට උචිත ගැඹුරු මුහුදක් තිබීමත්, වඩදිය බාදියෙන් තොර වීමත් වියළි දේශගුණයක් පැවතීමත් ඒ අතර වේ. කලාපයක් ලෙස ගත් කළ මාතර, හම්බන්තොට, මොණරාගල, අම්පාර වැනි දරිද්‍රතාව පදනම් කරගත් දිස්ත‍්‍රික්කවල දැන් කෙරෙන ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙළේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ද මෙය දැක්විය හැකි ය. සුවිශාල කර්මාන්තශාලා, අධිවේගී මාර්ග, ජාත්‍යන්තර ක‍්‍රීඩාංගන, අන්තර්ජාතික ගුවන්තොට, අන්තර්ජාතික සම්මන්ත‍්‍රණ ශාලා, දුම්රිය මාර්ග, ජල යෝජනා ක‍්‍රම මේ යටතේ දැනටමත් සිදුවෙමින් පවතී.

     

    magampura port Farm Tank
     

    හම්බන්තොට වරායක් සඳහා පසුබිම


    මාගම්පුර වරාය සිහිනය රජයන සමයෙක, මහජන චීන සමූහාණ්ඩුව හා ශ‍්‍රී ලංකාව අතර වන මිත‍්‍රත්වයට වසර 50ක් සැපිරීමත්, එය සමරමින් අතිගරු ජනාධිපතිතුමන් විසින් චීනයේ සංචාරය කිරීමත්, එහි දී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති හූ ජිං තාවෝ මැතිතුමන් සමග ගිවිසුමකට එළැඹීමත්, ‘සිහිනය යථාර්ථයක්’ වීමට මග පෑදිණි. ඒ අනුව මාගම්පුර වරාය සඳහා වැය වෙතැයි අපේක්‍ෂිත ඇ.ඩො. මිලියන 360ක මුදලින් 85%ක ණය මුදලක් චීන රජයේ විශේෂ අනුග‍්‍රහය මත ලබා දීමට එකඟ වි ය.
     

    එම පසුබිම යටතේ හම්බන්තොට වරායයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීම සඳහා වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ තීරණයකට අනුව, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ හා චීනයේ විශේෂඥයින් එක්ව කටයුතු කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට 20006 වසරේ ඔක්තෝබර් මාසයේ දී අත්සන් තැබිණි.
     

    මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කොට මාස 03කට පසුව ඔවුන් විසින් සකස් කළ වාර්තාව පදනම් කොට ගෙන කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ සාකච්ඡා කමිටුවක් මගින් අදාළ ව්‍යාපෘති වාර්තාව සමාලෝචනය කොට අදාළ චීන සමාගම් සමූහය වෙත මාගම්පුර වරාය ඉදිකිරීමට අවශ්‍ය අනුමැතිය වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, කැබිනට් මණ්ඩලය විසින් එය අනුමත කරන ලදී.


    අනතුරුව මාගම්පුර වරාය ඉදිකිරීම සඳහා වන ගිවිසුම ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා මහජන චීන සමූහාණ්ඩුවේ චයිනා හාබර් ඉංජිනියරින් කම්පැනි ලිමිටඩ් සහ සයිනෝ හයිඩ්‍රෝ කොපරේෂන් ලිමිටඩ් සමූහ සමාගම් මණ්ඩලය අතර, 2007 මාර්තු මස 12 වැනි දින අත්සන් තැබිණි.


    ඒ අනුව ශ‍්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍යතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් මාගම්පුර ජාත්‍යන්තර වරාය සඳහා 2007 ජූනි 07 වන දින යෙදුණු ශුභ මොහොතින් මංගල පස්පිඩැල්ල කැපුණේ චීන රජයේ හා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ද ප‍්‍රදේශයේ ජනතා නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙනි.
     

    මාගම්පුර වරාය ඉදිකිරීම (සැලසුම් / පිරිවැය)


    M/S SNC ලැවොලින් කැනේඩියානු ජාත්‍යන්තර සමාගම ශක්‍යතා අධ්‍යයනය සිදුකරන ලද අතර 2005 වර්ෂයේ දී ඩෙන්මාර්ක් රැම්බෝල් සමාගමේ සම්පත් දායකත්වයෙන් මූලික සැලසුම් සකස් කරන ලදී.

     
    ව්‍යාපෘතියේ භූමි ප‍්‍රමාණය හෙක්ටයාර් 2000කි. 2008 ජනවාරි 15 වන දින මාස 39ක කාලයකින් පළමු අදියර නිම කිරීම සඳහා ශ‍්‍රී  ලංකා වරාය අධිකාරිය හා චයිනා හාබර් ඉංජිනියරින් කම්පැනි ඒකාබද්ධ සයිනෝ  හයිඩ්‍රෝ කෝපරේෂන් ලිමිටඩ් සමග ගිවිසුම් ගත වි ය.


    මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 360ක් වන ව්‍යාපෘතියේ මූල්‍ය දායකත්වය චීන රජය EXIM බැංකුව 85%ක් ද ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 15%ක් ද ලෙස දායක වී තිබේ.


    චයිනා හාබර් ඉංජිනියරින් කම්පැනි සහ සයිනෝ හයිඩ්‍රෝ කෝපරේෂන් ලිමිටඩ් ආයතන විසින් ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී. පළමු අදියර 2010 අගොස්තු 15 දින වැඩ අවසන් කෙරිණි.
     

    මාගම්පුර වරාය ඉදිකිරීම පළමු අදියර


     1. බටහිර දියකඩනය මීටර් 988

     2. නැගෙනහිර දියකඩනය මීටර් 312

     3. නැව් පර්යන්තය මීටර් 600

     4. සේවා පර්යන්තය මීටර් 105

     5. තෙල් පර්යන්තය මීටර් 310

     6. නෞකා හැරවුම් තටාකය මීටර් 600

     7. තටාකයේ ගැඹුර මීටර් 17

     8. වරාය පිවිසුම් ඇල මාර්ගය පළල මීටර් 210

     9. වරාය පිවිසුම් ඇල මාර්ගය ගැඹුර මීටර් 17

     10. පළමු අදියරේ ගැඹුරු කෙරෙන භුමි ප‍්‍රමාණය හෙක්ටයාර් 43

     11. ධාරිතාව 100,000 DWT ප‍්‍රමාණයේ නෞකාවන් සඳහා පහසුකම් සැලකිය හැකි ය.
     

    magampura-port Farm-Tanks

    ඉන්ධන පර්යන්තය


    ඉන්ධන පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භය 2009.10.07 සිදු වූ අතර ඒ සඳහා පිරිවැය ලෙස ඇ.ඩො. මිලියන 76ක් ඇස්තමේන්තු කර තිබිණි. ඉදිකිරීම් සමාගම වූයේ චීනයේ හුවාන් කිව් (HUWAN QUI) ඉංජිනියරින් ආයතනයයි. මේ යටතේ තෙල් ටැංකි 14කින් යුත් ටැංකි පද්ධතියක් ඉදිකරන ලද අතර, එහි සමස්ත ධාරිතාව ඝන මීටර්  80000කි.
     

    ඉන්ධන පර්යන්තය නෞකා ඉන්ධන ටැංකි 08කින් ද ගුවන් යානා ඉන්ධන ටැංකි 03කින් ද එල්.පී. ගෑස් ටැංකි 03කින් ද සමන්විත වේ.
     

    පරිපාලන ගොඩනැගිල්ල


    ඉදිකිරීම චයිනා හාබර් ඉංජිනියරින් හා සයිනෝ හයිඩ්‍රෝ කොපරේෂන් ආයතන මඟින් ඉදිකරන ලද පරිපාලන ගොඩනැගිල්ල වර්ග අඩි 75000ක් වන සේ මහල් 15කින් සමන්විත වන අතර, ගොඩනැගිල්ල අඩි 200ක උසකින් යුක්ත ය. ගෘහ නිර්මාණ ශිල්පීන් වූයේ තාන්යා හා සුරේන් වික‍්‍රමසිංහ ආයතනයයි. ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 2009.10.07 දිනය.
     

    මාගම්පුර වරාය සැපයීමට අපේක්‍ෂිත සේවා

    x සාමාන්‍ය නැව් බඩු හෙවත් සාමුප‍්‍රදායික නැව්බඩු (සිමෙන්ති, පොහොර, පිටි, යකඩ, දැව වැනි).

    x රෝ රෝ (Raw Raw) පහසුකම් - වාහන ප‍්‍රවාහන පහසුකම් නෞකා මෙහෙයවීම් (ආනයන/ප‍්‍රති අපනයන).

    x බන්කරින් (Bunkerning) පහසුකම් සැලසීම.

    x නෞකා සඳහා එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය (Ship Stores) සැපයීම, වෛද්‍ය පහසුකම් සැපයීම.

    x ජලය සැපයීම.

    x නෞකා සඳහා කාර්ය මණ්ඩල සැපයීම, කාර්ය මණ්ඩල හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ක‍්‍රියා කිරීම.7

    x නෞකා ඉදිකිරීම් හා අලුත්වැඩියා (Dry Doc) වියළි තටාකාංගන පහසුකම් සැලසීම.

    x වරාය භූමිය තුළ කර්මාන්ත ශාලා ඇරඹීමට පහසුකම් සැලසීම.

    x බහළු මෙහෙයුම් පර්යන්ත ඇති කිරීම.

    x ගල්අඟුරු බල උත්පාදන කටයුතු සඳහා උපයුක්ත කර ගැනීම
     

    අපේක්‍ෂිත ඉලක්ක


    මාගම්පුර වරාය හරහා ඇති අපේක්‍ෂිත ඉලක්ක දේශීයව සහ ජාත්‍යන්තරව දැක්විය හැක
     

    ජාත්‍යන්තර ඉලක්ක


    x ශ‍්‍රී ලංකාව නාවික මධ්‍යස්ථානයක් ලෙස ලොව ප‍්‍රමුඛයා බවට පත් වීම.

    x නාවික ක්ෂේත‍්‍රය හැටියටත් කලාපීය වශයෙනුත් ගොඩනැගෙන අභියෝගයන්ට ශක්තිමත්ව මුහුණ දීම.

    x ශ‍්‍රී ලංකාව මුහුද කලාපය තුළ සංසරණය වන විශාල විදේශ විනිමය ශ‍්‍රී ලංකා ආර්ථිකය වෙත ආකර්ෂණය කර ගැනීම.

    x විදේශ ආයෝජන කැඳවා ගැනීම.


    දේශීය ඉලක්ක


    x විදේශ විනිමය රට තුළට ගැනීම.

    x රැකියා ප‍්‍රශ්නයට විසඳුම් සෙවීම.

    x වක‍්‍ර රැකියා 25000-30000 ක ප‍්‍රමාණයක් ඇති වීම තුළින් ප‍්‍රදේශයේ මූල්‍ය සංසරණය වැඩි වීම.

    x පුහුණු ශ‍්‍රමිකයන් බිහිකර ගැනීම.

    x ප‍්‍රාදේශීය සංවර්ධනය හා යටිතල පහසුකම් දියුණු වීම.

    x ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම.

    x රාජ්‍ය වත්කම් වර්ධනය වීම හා නව මූල්‍ය උත්පාදන මූලාශ‍්‍රයන් බිහි වීම.
     

    මාගම්පුර වරාය ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම


    මාගම්පුර වරාය පිළිබඳ අදහස සක‍්‍රිය වීමත් සමගම අද එය හම්බන්තොට ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් දක්වා වර්ධනය වී ඇති ආකාරය දැකිය හැකි ය. රටේ ජනතාව අතර හම්බන්තොට පිළිබඳව තිබූ ශුෂ්ක සහ කටුක අදහස් වෙනුවට සංවර්ධිත භූමි කලාපයක් පිළිබඳව අදහස ලියලමින් තිබේ. එහි මූලාරම්භකයා වූයේ වරායයි. මාගම්පුර වරාය ඉදිකිරීමට අවශ්‍ය මූලික සැලසුම් සකස් කරන විට ම ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳව අවධානය යොමු කෙරිණ. මෙය ම ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම ලෙස වර්ධනය වී ජනාධිපතිතුමන්ගේ පූර්ණ අනුග‍්‍රහයෙන් මේ වන විට මාගම්පුර ජාත්‍යන්තර වරාය, හම්බන්තොට ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය, ශුෂ්ක කලාපීය උද්භිද උද්‍යානය, කතරගම දක්වා දුම්රිය මාර්ගය, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග පද්ධතිය, පරිපාලන සංකීර්ණය මේ අතර ප‍්‍රමුඛ ය. එමෙන් ම හම්බන්තොට නව නගර සැලැස්ම ද ඒකාබද්ධව සිටී.


    මෙයට අමතරව ප‍්‍රදේශයේ පාසල්, නිවාස, නගර, ජලය, විදුලිය යන ව්‍යාපෘති විශාල වශයෙන් ක‍්‍රියාත්මක ය. හම්බන්තොට නිදහස් වෙළඳ කලාපයක් ද, ඉහත පහසුකම් යටතේ ඇති කිරීමට අවශ්‍ය කටයුතු සලසමින් සිටී.
     

    මාගම්පුර කෘතීම වරායක් ලෙස පාරිසරික සමතුලිතතාව


    බොහෝ සංවර්ධන ව්‍යාපෘතිවල දී හමුවන පාරිසරික ගැටලු මාගම්පුර වරාය ව්‍යාපෘතිය තුළ දී හමු නොවන්නේ මුල සිට ම එය ක‍්‍රමානුකූලව පරිසර හිතකාමී වරායයක් සේ සංවර්ධනය වීමයි. ලොව පුරා බොහෝ වරායයන් විසින් අනුගමනය කරන ගාර්ඩන් පොර්ට්  (GARDEN PORT) සංකල්පය යොදා ගන්නේ වරායයක සංකීර්ණ යාන්ත‍්‍රික කි‍්‍රයාවලිය හා පරිසරය බද්ධ කිරීමටයි. එය සේවකයා තුළ ද යහපත් මානසිකත්වයක් ඇති කරයි.
     

    විශේෂයෙන් ම හම්බන්තොට පාරිසරික තත්ත්වය හා සැසඳීමේ දී මාගම්පුර වරාය පරිසර හිතකාමී වරායයක් වීමට බලපෑ කාරණා කීපයක් ඇත.


    ශ‍්‍රී ලංකාව තුළ මෙන් පෙර සිදු වූ මහා පරිමාණ ව්‍යාපෘතිවල අත්දැකීම්, හම්බන්තොට භූ විෂමතාව සහ  හම්බන්තොට දේශගුණික හා කාලගුණික තත්ත්වය මින් ප‍්‍රධාන තැනක් ගනී.


    මේ නිසා ම වරාය භූමිය වටා වන කි.මි. 15ක දුර ප‍්‍රමාණය හරිත බිම් තීරුවක් ලෙස (GREEN BELT) මීටර් 12-15ක් අතර ප‍්‍රමාණයකින් ප‍්‍රදේශයට උචිත ශාඛ ගහනයක් ලෙස පවත්වා ගැනීමට නියමිත ය.


    එමෙන් ම ශ‍්‍රී ලංකා පාරිසරික පනතට අනුකූල ලෙසින් ම මාගම්පුර වරාය සැලසුම් සකස් වීම ද සඳහන් කළ යුතු ය. වරායේ භාවිතය ට ගන්නා ජලය හා නොයෙක් අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය ද මූලික ම සැලසුමකි.


    හම්බන්තොට ප‍්‍රධානත ම දේශගුණික තත්ත්වයන් වන සුළං හා අධික සූර්යතාපය වරායෙහි කටයුතු සඳහා බලශක්ති ප‍්‍රභවයක් ලෙස යොදා ගැනීමට සැලසුම් කර ඇත.
     

    Mahinda Rajapaksa port

    මාගම්පුර වරාය දෙවැනි අදියර


    මාගම්පුර වරාය දෙවැනි අදියර යටතේ නෞකා හැරවුම් තටාකය මීටර් 17ක් දක්වා ගැඹුරින් යුතුව මීටර් 600ක වට ප‍්‍රමාණයකින් පුළුල් කෙරේ. පිවිසුම් ඇළ මාර්ගය මීටර් 18ක් දක්වා ගැඹුරු කරන අතර, නැංගුරම් පොළ 06කින් යුත් පර්යන්ත වේල්ල මීටර් 2140ක දිගින් යුක්තව ද, නිර්මාණය කරන අතර, මෙයට සමගාමීව වරාය හෑරීමෙන් ඉවත් වන පස් යොදා ගනිමින් වරාය ආසන්න මුහුදේ අක්කර 50ක වපසරියකින් යුත් දූපතක් නිර්මාණය කිරීමට ද බලාපොරොත්තු වේ. ඉදිවන දූපත හා ගොඩබිම අතර මීටර් 8ක උසකින් යුත් පාලමක් ද, එහි මාර්ග හා පර්යන්ත පහසුකම් ද ඇති කෙරේ.


    එමෙන් ම 02 වැනි අදියර යටතේ හෙක්ටයාර් 60කින් යුත් පර්යන්ත ජැටියක් ද පර්යන්ත වේල්ලට සමගාමීව සංවර්ධනය කරනු ඇත.


    හම්බන්තොට කරගං ලේවාය භූමිය සහ අවට පවුල් 450ක් පමණ ජීවත්ව සිටි අතර හෙක්ටයාර් 2000ක භූමිය මාගම්පුර නව වරාය ව්‍යාපෘතිය සඳහා පවරා ගැනුණි. එම ඉඩම් හිමියන් වෙනුවෙන් වන්දි මුදල් හා ඉඩම් ලබා දුන් අතර, එම ලබා දුන් ඉඩම සඳහා සියලු යටිතල පහසුකම් ද වරාය අධිකාරිය විසින් එම ඉඩම් හිමියන් ට සැලැස්වීම සිදු කෙරිණි.


    හම්බන්තොට කරගං ලේවාය පැරණි මාර්ගය වෙනුවට නව මාර්ගයක් ඉදි කළ අතර, වරායයක මූලික පිහිටීම උදෙසා සියලු බාධා මේ වන විට ඉවත් කොට ඇත. අවම වශයෙන් ප‍්‍රදේශයේ සියලු ජනතාව වෙත ව්‍යාපෘතිය පිළිබඳ සියලු අංශ කෙරෙහි අවබෝධය ලබා දී තිබේ. විශේෂයෙන් ප‍්‍රදේශයේ පාසල් පද්ධතිය හරහා සිදු කරන ලද වරාය පිළිබඳ සම්මන්ත‍්‍රණ මාලාව සංවර්ධනයේ ධනාත්මක අපේක්‍ෂාවන් හම්බන්තොට ජනතාවට ලබා දීමට පොහොසත් වි ය.


    මේ සඳහා ප‍්‍රදේශයේ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ලැබුණු අතර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සෑම සේවකයෙකුගේ ම සහය ලැබිණි. නව මාවතකට සංවර්ධන අපේක්‍ෂාවන් සමග යන මෙම ගමනට එය අත්වැලක් වි ය. එමෙන් ම ප‍්‍රදේශයේ ජනතාවට යථාර්ථවාදීව මාගම්පුර වරාය සංවර්ධනය දෙස බැලීම ද සඳහන් කළ යුතු ය. රට පුරා විවිධ ජන කොටස්, විවිධ සමාජ බලවේග, විවිධ බුද්ධිමතුන් මේ පිළිබඳව දක්වන ලද තාර්කික පදනම ද මෙවන් මහා පරිමාණ ව්‍යාපෘතියකට අවැසි වි ය.


    අතිගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ද, හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්‍ෂ මහතාගේ උපදේශකත්වයෙන් ද, මාගම්පුර වරාය ගොඩනංවන ලද බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතා සඳහන් කරයි.
     

    කරදියවර මංගල්‍යය


    සමුද්‍රාසන්නයේ ගොඩබිම ඉදිකොට සමුද්‍රයේ දියකඩනයක් ඉදිකොට වරාය තුළට කරදියවර ගෙන ආ ලෝකයේ එක ම වරාය මාගම්පුර වරායයි. ඒ කරදියවර මංගල්‍යයේ අසිරිය අපට එදා දැකගත හැකිවිණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් එම උළෙල පැවැත්විණි.


    එම ඓතිහාසික උත්සවයෙන් අනතුරුව මාගම්පුර වරායට නෞකා පැමිණීම ආරම්භ විය.


    2012 ජූනි 06 වැනි දා හම්බන්තොට, මාගම්පුර මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික වරායට අමරණීයම දවසක් විය. එදින වරායට වාහන ගොඩබෑම සහ ප්‍රති අපනයන කටයුතු ආරම්භ කිරීම ප්‍රථම වරට සිදු කෙරිණි.


    ජපානයේ සිට සිංගප්පූරු වරාය හරහා වාහන 15ක් රැගත් ‘එන්ෆෝකේ ෆ‍්‍රීසියා’ නෞකාව, මාගම්පුර වරායට ළඟා වූයේ එ දිනය. පෙරවරු 7.47ට යෙදුණ සුබ මොහොතින්, මුල්ම මෝටර් රථය එම නෞකාවේ සිට ගොඩබිමට ගෙන එනු ලැබීය. එම නෞකාවෙන් ආනයනය කළ මෝටර් රථ මෙරට භාවිතයට ගෙන ආ ඒවා විය. එදිනම පෙ.ව. 10.15ට පමණ චෙන්නායි හි මොන්ගාටි වරායේ සිට පැමිණි ග්ලෝවිස් ඒෂියා සන් නෞකාව මාගම්පුර වරායට ළඟා වූයේ තවත් වාහන තොගයක් රැගෙනය. එම වාහන මාගම්පුර වරායට ගෙන එන ලද්දේ ප්‍රතිඅපනයනය සඳහාය. එම නෞකාවෙන් ‘හුන්ඩායි’ වර්ගයේ වාහන 998ක් මාගම්පුර වරායේ ජැටියට ගොඩබාන ලදී. එම වාහන තොගය, වෙනත් නෞකාවකින් ඇල්ජීරියාවට ප්‍රති අපනයනය කෙරිණි. ඉන්පසු වාහන හා වෙනත් බහාළුම් රැගත් නෞකා ද මගී නෞකා ද වරායට පැමිණි නෞකා අතර විය.


    පසුගිය ජූනි 18 වැනි දා වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය 2013 දී රුපියල් මිලියන 2427ක ලාභයක් ලබා ඇති බවය.


    මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට පැමිණෙන නෞකා සඳහා තෙල් සැපයීම සඳහා ඉදිකරන ලද නවතම තෙල් ටැංකි පර්යන්තය විවෘත කිරීම හා නෞකාවලට තෙල් සැපයීම ආරම්භ කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද (ජූනි 22) සිදු කෙරේ.


    මෙම තෙල් ටැංකි පද්ධතිය සඳහා තෙල් සැපයීමට පළමු නෞකාව පසුගිය ජූනි පළමුවැනි සතියේ වරායට සේන්දු විය. අමෙරිකානු ඩොලර් මිලියන 76ක් වැයකර එහි ඉදිකර ඇති තෙල් ටැංකි ගණන 14කි. ඒවායේ ධාරිතාව ඝන මීටර් 80000කි.

     

    mattala airport oil terminal


    මීට සමගාමීව මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළෙහි ගුවන්යානා ඉන්ධන සැපයුම් සේවා සැපිරීමට හැකි වන අයුරින් ඉදිකළ ගුවන්යානා ඉන්ධන සැපයුම් පර්යන්තය හා ඉන්ධන සැපයුම් නල පද්ධතිය ද අද ජනාධිපතිතුමන් අතින් විවෘත වෙයි.


    මේ ඓතිහාසික අවස්ථාවන් දෙකම රටට විදේශ විනිමය උපයාදෙන තවත් රන් දොරටු දෙකක් ජනාධිපතිතුමා අතින් මාතෘභූමියට විවෘත කර දීමක් බව සනිටුහන් කර තැබිය යුතුමය.

     

    - හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි (මූලාශ්‍ර: වරාය අධිකාරිය)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya