අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොරොන්දු දෙනුයේ ඉටු කිරීමටයි - ආකර්ෂණීය ශීර්ෂ පාඨ සඳහා යොදා ගැනීමට නො වේ

    ජූනි 15, 2014

    සංවර්ධිත ආර්ථිකයන්ගේ දළ ජාතික ආදායමෙන් (GNI) 0.7%ක් සංවර්ධනය වන රටවලට ලබා දීමට දුන් පොරොන්දුව ඉටුනොවීම කනස්සලු සහගත බවත් පොරොන්දු දෙනුයේ ඉටු කිරීමට මිස හුදෙක් ආකර්ෂණීය ශීර්ෂ පාඨ සඳහා යොදා ගැනීමට නො වන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජී 77 කණ්ඩායමේ සහ චීනයේ 50 වැනි සාංවත්සරික සමරු රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.

     

    77 කණ්ඩායමේ සහ චීනයේ 50 වැනි සාංවත්සරික සමරු රාජ්‍ය හා ආණ්ඩු නායක සමුළුව අමතමින් ජනාධිපතිතුමා කළ ප්‍රකාශය.
    "යහපත් දිවි පිවෙතක් සඳහා නව ලෝක රටාවක්" - සැන්ටා කෲස් ඩි ලා සියෙරා, බොලීවියාව - ජුනි 14-15


    බොලීවියා රාජ්‍යයේ ජනාධිපති අතිගරු ඊවෝ මොරලෙස් මැතිතුමනි,

    උතුමනි,

    සම්භාවනීය නියෝජිතයිනි,

    නෝනාවරුනි, මහත්වරුනි,


    77 කණ්ඩායම සහ චීනය ආරම්භ කිරීමේ 50 වැනි සංවත්සර සමරුව සඳහා මේ දැකුම්කළු සැන්ටා කෲස් ඩි ලා සියෙරා නගරයේ දී ඔබ සමග එක්වීම මට බලවත් සතුටකි.


    අතිගරු මොරලෙස් ජනාධිපතිතුමනි,

    මට සහ මගේ දූත පිරිසට දක්වන ලද නොමසුරු සත්කාරයට ඔබට ස්තුති කරමි. මේ මා ඔබේ ශ්‍රේෂ්ඨ රටට පැමිණි ප‍්‍රථම අවස්ථාවයි. බොහෝ අභියෝග මධ්‍යයේ ඔබ බොලීවියා ජනතාව මෙහෙයවන ආකාරය මම නිරීක්‍ෂණය කළෙමි. 77 කණ්ඩායම සහ චීනය සිය ස්වර්ණ ජයන්තිය සලකුණු කරන මේ වසරේ ඔබේ නායකත්වය අපේ සංවිධානයට නව ජීවයක් අත් කර දෙනු ඇති බව මට විශ්වාසයි.


    අතිගරු මැතිඳුනි,

    ඔබ විසින් ඊයේ පළ කළ අදහස් තුළින් ඔබගේ අධිෂ්ඨානශීලී හා දුරදක්නා නායකත්වය මනාව පැහැදිලි වුණි.


    සභාපතිතුමනි,

    77 කණ්ඩායම සහ චීනය ස්ථාපනය කරනු ලැබූයේ සංවර්ධනය වන රටවල් බොහොමයක් යටත්විජිතවාදයේ අනිටු ප‍්‍රතිවිපාක පිටුදැක සංවර්ධනය අත්කර ගැනීමට සහ දිළිඳුකම දුරු කිරීමට අරගල කරමින් සිටි අවධියක ය. කණ්ඩායම බිහි වීමෙන් පසු බොහෝ ප‍්‍රතිඵල අත්කර ගෙන ඇත. එසේ වුව ද තව දිග දුරක් යා යුතුව තිබේ. අපේ සියලූ ජනතාවන් සඳහා වඩා හොඳ ලෝකයක් ගොඩනැගීමේ අභිලාෂය ඇතිව නව අන්තර්ජාතික ආර්ථික රටාවක් (NIEO) සඳහා වූ සැලැස්ම අනුමත කොට ගැනීම මගේ සිහියට නැඟේ. සැලැස්මෙහි ඇතැම් කොටස් සාක්ෂාත් කරගෙන ඇතත් සමහරක් නැත. සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ 77 කණ්ඩායමේ ආරම්භක දැක්ම තවමත් වලංගුව පවතී.


    මේ සන්දර්භය තුළ කණ්ඩායමේ වියානා පරිච්ඡේදයේ වත්මන් සභාපතිත්වය දරන ශ‍්‍රී ලංකාව; ජී77 කණ්ඩායමේ ක‍්‍රියාකාරකම් සමග සමීපව කටයුතු කරයි.


    සභාපතිතුමනි,

    සංවර්ධනය වන රටවල් බොහොමයක් සංවර්ධිත රටවල් අතළොස්සකින් ලැබෙන නිල සංවර්ධන ආධාර මත තවදුරටත් රඳා නොපවතින ලෝකයක අපි අද ජීවත් වන්නෙමු. අපේ සාමාජිකයන්ගෙන් ඇතැමෙක් උතුරේ රටවලට සම කළ හැකි සංවර්ධනයක් අත්කර ගෙන ඇත. සෙසු ජාතීහූ සිය ආර්ථිකයන් වැඩි දියුණු කර ගැනීමේ ලෝකයේ ප‍්‍රධාන ක‍්‍රියාකාරිකයන් බවට පත්ව සිටිති.


    ලෝකයේ කාර්මික නිමැවුමෙන් 40%ක් උත්පාදනය කරනුයේ අපේ සාමාජිකයන් දෙදෙනෙකු එනම්, ඉන්දියාව සහ චීනය බව අපට ආඩම්බරයෙන් කිව හැකිය. කණ්ඩායමේ ඇතැම් සාමාජිකයන් අත්කර ගත් ආර්ථික ප‍්‍රගතිය නිසා සංවර්ධනය වන ලෝකයේ දසලක්‍ෂ සංඛ්‍යාත පිරිස් දිළිඳුකමේ ප‍්‍රවාහයෙන් එතෙර වී ඇත.


    දකුණේ රටවල සාක්‍ෂරතා මට්ටම්, සෞඛ්‍ය සේවා සහ රැකියා ඉඩ ප‍්‍රස්ථා වැඩි දියුණු වී ඇත. 77 කණ්ඩායමේ රටවල විදේශ මූල්‍ය සංචිත වාර්තාගත මට්ටම්වලට ළඟා වී තිබේ. මෑතක දී ඇති වූ අවපාතයේ දී බොහෝ සංවර්ධිත රටවල ආර්ථිකයන් පවත්වා ගත හැකි වූයේ සංවර්ධනය වන රටවල් භාණ්ඩ හා කාර්මික නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ සහ ණය සපයා දීම නිසා ය. මේ හවුල්කාරිත්වය කාර්යක්‍ෂමව කළමණාකරණය කළ හැකි නම් උතුරු දකුණු දෙපාර්ශවයටම ඵලදායක වනු ඇත.


    එසේ වුව ද සංවර්ධිත ආර්ථිකයන්ගේ දළ ජාතික ආදායමෙන් (GNI) 0.7%ක් සංවර්ධනය වන රටවලට ලබා දීමට දුන් පොරොන්දුව ඉටුනොවීම කනස්සලු සහගත ය. එය සිදු වූයේ නම් බොහෝ දියුණු වන රටවලට දිළිඳුකම ජයගෙන වඩා පිළිගත හැකි සංවර්ධන මට්ටමකට ළඟා වීමට ඉඩ තිබිණ. පොරොන්දු දෙනුයේ ඉටු කිරීමට මිස හුදෙක් ආකර්ෂණීය ශීර්ෂ පාඨ සඳහා යොදා ගැනීමට නො වේ.


    සභාපතිතුමනි.

    වර්තමානයේ අන්තර්ජාතික වේදිකාවල සංවර්ධනයට ලැබෙනුයේ අඩු වැදගත්කමකි. වසර 2015 ගෝලීය සංවර්ධන න්‍යාය පත‍්‍රයෙහි තීරණාත්මක කඩඉමක් සලකුණු කරයි. 77 කණ්ඩායම සහ චීනය ධරණීය සංවර්ධන අභිමතාර්ථ සහ කාලගුණ විපර්යාස සාකච්ඡා ක‍්‍රියාදාමයන්ගේ අන්තර් සම්බන්ධය වෙත අවධානය යොමු කළ යුතු ය. සංවර්ධන හිතකාමී න්‍යාය පත‍්‍රයට සහය ලැබීම සඳහා ගෝලීය පාලන රාමුව ප‍්‍රතිසංස්කරණය දකුණේ අපට ඉතා වැදගත් ය. දකුණේ ජාතීන් සිය පූර්ණ ශක්‍යතාව අත්කර ගැනීමට නම් මෙය අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තකි.


    සභාපතිතුමනි,

    රාජ්‍යයන්ගේ ස්වෛරී අයිතිවාසිකම් බලපෑම් නොකිරීම සහ දේශපාලන හා ආර්ථික ස්වාධීනත්වය එකිනෙක බැඳී පවතී. අඛණ්ඩ ආර්ථික පරාදීනත්වය සහ ජාතීන් කිහිපයක් සතු ගෝලීය මූල්‍ය ආර්ථික හා තාක්‍ෂණ ආධිපත්‍යය සංවර්ධනය වන බොහෝ රටවල් ආර්ථික හා දේශපාලන වශයෙන් අවදානමට හෙළා ඇත. දකුණේ රටවල් ස්වකීය ගමන්මග ඥානාන්විතව හසුරුවා ගැනීම වැදගත් වනුයේ මේ නිසාය. එබැවින් ධරණීය සංවර්ධනය, ද්‍රව්‍යමය ප‍්‍රගතිය හා ආධ්‍යාත්මික අභිවෘද්ධිය සමබර කිරීම සහ පරිසර සංරක්‍ෂණය සඳහා ඉවහල් වන සංවර්ධන ආකෘතීන් වෙත  අවධානය යොමු කළ යුතුය.


    සභාපතිතුමනි,

    වසර 27ක ත‍්‍රස්තවාදයේ පීඩනය මැද වුව ද දිළිඳුකමේ අවමානය අතීතයට එක් කිරීමට මගේ රට සමත් වී ඇත. ශ‍්‍රී ලංකාව මධ්‍ය ආදායම් තත්ත්වය අත්කර ගෙන ඇත. අපි ප‍්‍රාර්ථනීය සාක්‍ෂරතා අනුපාතයක්, කාර්යක්‍ෂම සෞඛ්‍ය සේවාවක් සහ පහළ සේවා වියුක්ති අනුපාතයක් අත් කර ගෙන ඇත්තෙමු. අපි නව මහා මාර්ග හා දුම්රිය මාර්ග ජාලයක්, වරාය, ගුවන් තොටුපළ සහ වෙනත් යටිතල පහසුකම් බිහි කළෙමු. ගුවන් ගමන්, නාවික, තොරතුරු තාක්‍ෂණය, අධ්‍යාපන මූල්‍ය කේන්ද්‍රයක් බවට පත් වීමේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය සාර්ථක කර ගනු පිණිස ශ‍්‍රී ලංකාව මේ පහසුකම් ප‍්‍රයෝජනයට ගනී.


    සභාපතිතුමනි,

    ශ‍්‍රී ලංකාව වසර 2015ට පසු ධරණීය සංවර්ධන න්‍යාය පත‍්‍රය සැකසීම සඳහා වන එක්සත් ජාතීන්ගේ විවෘත ක‍්‍රියාකාරී කණ්ඩායමෙහි සක‍්‍රීය කාර්යභාරයක් ඉටු කර ඇත. තරුණයන්ගේ අභිලාෂයන් සහ  ඕනෑ එපාකම් ගෝලීය න්‍යාය පත‍්‍රයට අනුගත කළ යුතු බව අපි කියා සිටියෙමු. ශ‍්‍රී ලංකාව මේ වසරේ මැයි මාසයේ දී ලෝක තරුණ සමුළුවට සත්කාරකත්වය සැපයීය. එකිනෙක රටේ ජාතික අවශ්‍යතාවනට අනුකූලව යෞවන ක‍්‍රියා ප‍්‍රවේශයන් සකසනුවස් ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ සහභාගීත්වය ඇතිව තරුණයන් පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය සම්පාදනය කළෙමු. තරුණයෝ අනාගතය පමණක් නො ව අපේ වර්තමානය ද වෙති.


    සභාපතිතුමනි,

    රැකියා විරහිතභාවයේ අභියෝගයන්ට සුදුසු විසඳුමක් ලෙස කාර්මීකකරණයට යොමු විය යුතු යැයි ශ‍්‍රී ලංකාව විවෘත කි‍්‍රයාකාරී කණ්ඩායමට යෝජනා කර ඇත. උතුරේ බොහෝ රටවල් රැකියා ඉඩ ප‍්‍රස්ථා ප‍්‍රසාරණය කළේ සහ මහා ධනයක් උත්පාදනය කළේ කර්මාන්තකරණය මගිනි. එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) අනාගත සේවා වියුක්තිය ජය ගනු පිණිස කර්මාන්තකරණය අනුදැන ඇති බව මම දනිමි.


    සභාපතිතුමනි,

    දිළිඳුකම හා සාගින්න තුරන් කිරීම අපේ න්‍යාය පත‍්‍රයේ ඉහළින්ම තිබිය යුතු ය. සිය කෝටියකට අධික මිනිස්සු දරිද්‍රතාවට ගොදුරු වී සිටිති. රැකියා ඉඩප‍්‍රස්ථා ප‍්‍රසාරණය පිණිස අදාළ අධ්‍යාපනය සහ අලෙවි කළ හැකි නිපුණතා සපයා දීම අපේ ප‍්‍රවේශයේ අත්‍යවශ්‍යය අංගයක් විය යුතුය. “මහින්ද චින්තන“ යනුවෙන් නම් කර ඇති ප‍්‍රතිපත්ති ප‍්‍රවේශයේ ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකාවේ රැකියා විරහිතභාවය 4.1% දක්වා අඩු වී ඇත. ශ‍්‍රී ලංකාව සංවර්ධනය වන රටවල් සඳහා එකම ආකෘතිය නොවුණ ද අපේ සාර්ථකත්වයේ කතාවෙන් උගත හැකි පාඩම් ඇති බවට සැකයක් නැත. විශේෂයෙන් ස්ථාවර රජයක් නිර්මාණය කිරීමට හා ආර්ථික හා සමාජ ප‍්‍රගතිය අත්කර ගැනීමට හේතු වූ ත‍්‍රස්තවාදය තුරන් කිරීමේ ප‍්‍රායෝගික ක‍්‍රමවේදයන් සම්බන්ධයෙන් මෙය අදාළ වේ.


    සභාපතිතුමනි,

    දැනුම පදනම් කර ගත් අනාගත ආර්ථිකය තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍ය වෙයි. එබැවින් වසර 2016 වන විට ජනගහනයෙන් 70%කට වැඩි පිරිසකට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සාක්‍ෂරතාව අත් කර දීමේ ප‍්‍රතිපත්ති ඉලක්කයක් ශ‍්‍රී ලංකාව නියම කර තිබේ. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ග‍්‍රහණය කිරීමෙන් බොහෝ ආර්ථිකයන් විශ්මයජනක ලෙස ඉදිරියට ගොස් ඇත. එසේ හෙයින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය භාවිතය අරභයා අපට පැහැදිලි ප‍්‍රතිපත්ති තිබිය යුතුය. තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයේ සංවර්ධනය අචල ප‍්‍රමුඛතාවක් ලෙස පවතින අතරම විශේෂයෙන් අපගේ තරුණයන්ගේ යහපැවැත්ම තර්ජනයට ලක් කරන එහි අයථා භාවිත සම්භාවිතාව පිළිබඳව ද අපි සැළකිලිමත් විය යුතු වන්නෙමු. මේ ක්‍ෂේත‍්‍රයේ අපගේ ප‍්‍රතිපත්තීන් සැකසීමේ දී සංතුලනය පිළිබඳ අවබෝධයක් අත්‍යවශ්‍යය වන්නේ එබැවිනි.


    සභාපතිතුමනි,

    සාගර; ශ‍්‍රී ලංකාවට සහ තවත් බොහෝ රටවලට විශේෂයෙන් කුඩා දිවයින් රාජ්‍යයන්ට අතිශය වැදගත් ය. සාගර වාර්ෂිකව ඩොලර් ටි‍්‍රලියන 3ක් වටිනා භාණ්ඩ හා සේවා උත්පාදනය කරයි. සංවර්ධනය වන ලෝකයේ බොහෝ ජාතීන් සිය ජීවනෝපාය සහ පෝෂණය සඳහා සාගර මත රඳා පවතී. එසේ වුව ද අධි පරිභෝජනය සහ දූෂණය හේතුවෙන් සාගර හා ඒවායේ සම්පත් තර්ජනයට ලක්ව තිබේ. සාගරවල ප‍්‍රමාණවත් ආරක්‍ෂාව හා ධරණීය භාවිතය සහතික කිරීමට 77 කණ්ඩායම හා චීනය පෙරමුණ ගත යුතු ය.


    සභාපතිතුමනි,

    මානව ක‍්‍රියාකාරිත්වය නිසා ගෝලීය දේශගුණය බිඳ වැටීමේ අවස්ථාවට ළඟා වී තිබේ. කිසිවක් නොවුණා සේ අප වැඩ කර ගෙන යන්නේ නම් අනාගත පරම්පරාවන්ගේ පැවැත්ම අවිනිශ්චිත වනු ඇත. දේශගුණ විපර්යාස නිසා සිදු විය හැකි සරණාගත ප‍්‍රවාහයන් බලවත් කණස්සල්ලට හේතුවකි. කාලගුණ විපර්යාසය පොදු එහෙත් වෙනස්කම් සහිත වගකීම යන මූලධර්මයට අනුකූලව ප‍්‍රායෝගිකව හා සමස්තයක් ලෙස කළමනාකරණය කළ යුතුය.


    සභාපතිතුමනි,

    සංවර්ධනය වන රටවල ඉහළ මට්ටම්වලින් ප‍්‍රකාශිත සහයෝගීතාව කණ්ඩායමේ ආර්ථික හා සංවර්ධන  ඕනෑ එපාකම් ගෝලීය න්‍යාය පත‍්‍රයෙහි ඉහළින් තැබීමේ දකුණේ සාමූහික ප‍්‍රයත්නය බලගැන්වීමට ඉවහල් වනු ඇත. සංවර්ධනය වන රටවල අවධානයට පාත‍්‍රව ඇති ප‍්‍රධාන විෂයයන් 2015ට පසු සංවර්ධන න්‍යාය පත‍්‍රයෙහි නිසි ස්ථානය හිමි කර ගැනීම සහතික කිරීමට මෙය වැදගත් වෙයි. දකුණු-දකුණු සහයෝගීතාව මේ අරමුණ වෙත යොමු කිරීමෙන් අද අපේ සාකච්ඡාවේ තේමාව වන “යහපත් දිවි පෙවෙතක් සඳහා නව ලෝක රටාවක්“ යන්න සාක්‍ෂාත් කර ගැනීමට පිළිවන.


    නව ශක්තියකින් යුත් 77 කණ්ඩායම වඩා සමාන හා සාධාරණ අන්තර්ජාතික රටාවක් සඳහා වූ අපේ පොදු අරමුණ කරා ළඟා වීමට අවශ්‍ය බලය සපයනු ඇති බව නිසැක ය.


    සභාපතිතුමනි,

    සැන්ටා කෲස් සුන්දර නගරයෙහි මේ සමුළුව පැවැත්වීම ගැන ඔබට යළිත් ස්තූති කිරීමට මම මේ අවස්ථාව උපයෝගී කර ගනිමි.

     


    HC/NP_PS&IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya