Youth Link Sri Lanka දේශීය තරුණ හුවමාරු වැඩසටහනේ දෙවන අදියර ඇරඹේ

 Youth Link Sri Lanka දේශීය තරුණ හුවමාරු වැඩසටහනේ දෙවන අදියර ඇරඹේ
  • SocialShare:

Youth Link Sri Lanka දේශීය තරුණ හුවමාරු වැඩසටහනේ දෙවන අදියර ඊයේ (11දා) මහර , වෑබඩ පුරාණ ගල් ලෙන් විහාරයේ දී  දී ආරම්භ විය.

මෙහි සත්කාරක දිස්ත්‍රික්කය ලෙස ගම්පහ දිස්ත්‍රික්කය කටයුතු කරන අතර සංක්‍රමණ දිස්ත්‍රික්ක ලෙස මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්ක කටයුතු කරයි. ඒ අනුව මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්කවල තරුණ තරුණියන් ද මෙයට සහභාගී විය.

මෙහි පළමු අදියර මාර්තු මස 5 වැනිදා මඩකලපුවේ දී ආරම්භ වූ අතර, ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත් හි වැඩසටහන් 20ක් ක්‍රියාත්මක කෙරුණි.

මෙම වැඩසටහන හුදකලා වැඩසටහනක් නොවන බවත්, මෙම වැඩසටහන ඔස්සේ ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ ප්‍රවේශය ලබාගන්නා බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ප්‍රකාශ කළේය.

මෙලෙස මෙරට තාරුණ්‍යය ලබාදෙන්නේ නැවත තමන්ව බෙදා වෙන් කර දේශපාලනය කිරීමට ඉඩ ලබා නොදෙන බවට වූ පණිවිඩය යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එම වැඩසටහන තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ඒ සඳහා වෑබඩ පුරාණ ගල්ලෙන් විහාරයේ විහාරාධිපති , වෑබඩ පියරතන ස්වාමීන් වහන්සේ, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් , ගම්වාසීන් සහ තරුණ තරුණියන් සහභාගී වූහ.