පාස්පෝර්ට් කාර්යාලය පැය 24 පුරාම විවෘත කිරීමෙන් පොලිම්වල සැලකියයුතු අඩුවක්

පාස්පෝර්ට් කාර්යාලය පැය 24 පුරාම විවෘත කිරීමෙන් පොලිම්වල සැලකියයුතු අඩුවක්
  • SocialShare:

පසු ගිය කාල වකවානුව පුරා බලපෑ විවිධ හේතු නිසාවෙන් උද්ගතව තිබූ දීර්ඝ කාලීන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදයට විසඳුම් ලෙස ආගමන හා විගමන දෙපාර්තුමේන්තු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය පැය 24 පුරා විවෘත කිරීමට තීරණය කර බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය න්වේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

මෙම නව වැඩපිළිවෙලත් සමග අද(19) දින විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි සේවාලාභීන්ගේ දිගු පෝලිම් වල සැලකියයුතු අඩු වීමක් නිරීක්ෂණය  වූ බවද  මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

ඊයේ(18)  සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ රාජකාරි දිනයන් තුළ පැය 24 පුරා ආගමන හා විගමන දෙපාර්තුමේන්තු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මහජනතාව වෙනුවෙන් සේවා සම්පාදනය සඳහා විවෘතව පවතී.

ඊට අනුශාංගිකව සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ හා සේවා සපයන නිලධාරීන්ගේ ආරක්ෂාව, ප්‍රවාහනය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් වෙනුවෙන්ද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය අවධානය යොමු කර අවශ්‍ය පියවර ගෙන ඇත.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා 2025.02.18 දින රාත්‍රිය පුරා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ සියලු අංශ නිරීක්ෂණය කරමින් සේවා සපයන නිලධාරීන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට අවශ්‍ය උපදෙස් ද ලබා දෙන ලදී.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ මින් ඉදිරියේදී විදෙස් ගමන් බලපත්‍ර හිඟයකින් තොරව නිකුත් කිරීමේ හැකියාව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි. තවදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන අයදුම්කරුවන් විසින් රැගෙන ආ යුතු ලෙසට දක්වා ඇති සියලු ලේඛනයන් සියල්ල නිසි පිළිවෙලට රැගෙන එන ලෙසත් ය.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේදී ඉදිරිපත් කළ යුතු ලේඛනයන්හි යම් දෝෂ සහගත තත්ත්වයක් හෝ අපැහැදිලිතාවයක් නිරීක්ෂණය වන්නේ නම් එවැනි අයදුම්කරුවන් එම ලේඛන ලබාගත හැකි අනෙකුත් ආයතන විවෘතව පවතින දිවා කාලයන්හිදී එම සේවා ලබාගෙන විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට ආගමන හා විගමන දෙපාර්තුමේන්තු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන්  ඉල්ලා සිටියි.

මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීම වෙනුවෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සැදී පැහැදී සිටියි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.