දිවයින වටා මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු වෙයි: ධීවර ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

දිවයින වටා මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු වෙයි: ධීවර ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්
  • SocialShare:

කාලගුණික තත්ත්වය තවදුරටත් අයහපත් වීම හේතුවෙන් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු අත්හිටුවීමේ උපදෙස් තවදුරටත් ක්‍රියාත්මක බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ නවතම වාර්තාවට අනුව  ජූනි 08 වැනිදා සිට පැවති අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් නොවෙනස්ව පවතින බැවින් දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවරයින්ට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, කන්කසන්තුරය සිට කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි බැවින් මුහුද ඉතා රළු තත්ත්වයක පවතින බවයි.

එසේම කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු ස්වභාවයක් ගත හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

දිවයින වටා ඕනෑම මුහුදු ප්‍රදේශයක ධීවර කටයුතුවල නිරත වන සෑම ධීවරයෙකුම, ගොඩබිමෙන් පිටත්වීමේ සිට රැකියාවේ නිරත වන කාලය සහ නැවත පැමිණෙන තෙක් සම්පූර්ණ ගමන් වාරය පුරාවටම ජීවිතාරක්ෂක කබා පැළඳ සිටීම අනිවාර්ය බව ධීවර දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඕනෑම හදිසි අනතුරකදී ජීවිතය සුරක්ෂිත කර ගැනීමට ඇති ප්‍රධානතම ක්‍රමවේදය මෙය බව අධ්‍යක්ෂ ජනරාල්වරයා නැවතත් සිහිපත් කරයි.

දිවයින වටා ඕනෑම මුහුදු ප්‍රදේශයක ධීවර කටයුතුවල නිරත වන සියලුම ධීවරයින් ගමන් වාරය පුරා ජීවිතාරක්ෂක කබා පැළඳ සිටීම අනිවාර්ය බව ද ධීවර දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කරන නිල නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් පවතින අවදානම් තත්ත්වය හමුවේ ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමට වගකීමෙන් කටයුතු කරන ලෙසත් සමස්ත ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.