අද එනම් ජුනි 11 සිට නව ඛනිජ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගෙන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය පිළිබඳව දැනුවත් කිරීම සදහා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මෙම නව ඛනිජ ප්‍රතිපත්තිය තුළ මූලික අවධානය යොමු කර ඇත්තේ ගවේෂණය, කැණීම් කිරීම, සකස් කිරීම, අගය එකතු කිරීම යන මෙම ක්‍රියාවලියම නියාමනය කිරීමට බවද ඒ සදහා පරිසර අමාත්‍යංශය යටතේ ඇති ආයතන, කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති ආයතන සියල්ලම මෙම කටයුතු සිදු කරන බවද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය විසින් මෙහි මූලික කටයුත්ත සිදුකරන බවද පැවසුවේය.
මෙම නව ප්‍රතිපත්තියට අනූව ගවේෂණ කටයුතු සියල්ලම මින් ඉදිරියට සිදුකරනුයේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය හරහා බවද යම්කිසි ආයතනයකට යම්කිසි පුද්ගලයෙකුට, යම්කිසි ව්‍යාපාරයකට මෙරට ඛනිජ සම්පත්වල ගවේෂණය කිරීමේ අවශ්‍යතාවයක් පවතී නම් එම කටයුතු සිදුකිරීමට ඒ ඔස්සේ සිදුකරගත හැකි බවද පැවසුවේය.
බලපත්‍ර ලබාදීමෙන් එහාට ගොස් මෙම නව ප්‍රතිපත්තිය යටතේ ගවේෂණය කිරීමේ ක්‍රියාවලියම රජයේ නියාමන ආයතන හැටියට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය භාරගන්නා බවද අවධාරණය කළේය. එම ගවේෂණවලින් ලබාගන්නා ප්‍රතිඵලය ගැසට් කරනා බවද ඉන්පසු විවෘත ලෙස ආයෝජන කැඳවා එම ආයෝජනවලට ලබාදෙන බවද එම ආයෝජන හරහා විනිවිද භාවයෙන් ඒවා ලබාගන්නා පාර්ශවයන්ට කැණීම් කටයුතු, අගය එකතු කිරීම දක්වා ගෙන යා හැකි බවද අවධාරණය කළේය.
ස්වභාවධර්මයෙන් අප රටට හිමිවුණ මෙම ඛනිජ සම්පත් නිසි ආකාරයෙන් පසුගිය දශක ගණනාවක් තුළ අප රටේ ජාතික ආර්ථිකයේ වර්ධනයට අපනයන ආදායම වැඩි කිරීමට යොදා නොගැනීම අප රටෙහි ඛනිජ සම්පත්වල පැවති මූලික ගැටලුවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා වසර 27කට පසු ලංකාවේ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය යාවත්කාලීන වුණු බවද වැඩිදුරටත් පැවසුවේය.


