නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා වෙරළාරක්‍ෂක බලකා මූලස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා වෙරළාරක්‍ෂක බලකා මූලස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක
  • SocialShare:

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගියදා ( 30) මිරිස්ස පිහිටි ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකා (SLCG) මූලස්ථානයේ සහ බලපිටිය ජීවිතාරක්‍ෂක පුහුණු පාසලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (DGCG) රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා පිළිගනු ලැබීය.

වෙරළාරක්‍ෂක බලකා මූලස්ථානය නිරීක්ෂණය කිරීමේදී එහි පහසුකම් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

වෙරළාරක්‍ෂක බලකායේ අණදෙන සහ පාලන යාන්ත්‍රණය මෙන්ම මෙහෙයුම් සම්බන්ධීකරණය සහ සමුද්‍රීය ආරක්‍ෂක සූදානම පිළිබඳව සමාලෝචනයක නිරත වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ,ඩ්‍රෝන නිරීක්‍ෂණ හැකියාවන්, ධීවර හා වෙරළබඩ ප්‍රජාව සඳහා ලබා දෙන සහය සහ සමුද්‍ර පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ද සොයා බැලීය.

ජීවිතාරක්‍ෂක මෙහෙයුම්, තෙල් කාන්දු සඳහා ප්‍රතිචාර දැක්වීම සහ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය ඉටුකරන ආදර්ශමත් දායකත්වය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රශංසාවට ලක් විය.‍

වෙරළාරක්‍ෂක බලකා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සවිස්තරාත්මක සාකච්ඡාවේදී, රේඛීය අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණයෙන් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කළ යුතු මෙවැනි වැඩසටහන් පිළිබඳව සිය අවධානය යොමු කරන ලදී.

දියේ ගිලීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාම සහ ඒ සම්බන්ධයෙන් ජාතික මට්ටමේ සැලැස්මක් නොමැතිකම සැලකිල්ලට ගනිමින් ප්‍රජා මූලික ජීවිතාරක්‍ෂක උපක්‍රම ඉහළ නැංවීම, ධීවර වරායන්හි පවතින ආරක්‍ෂක ගැටළු නිරාකරණය කිරීම, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ පියවර ශක්තිමත් කිරීම, මගී යාත්‍රා මෙහෙයුම් නියාමනය කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සිදුකරන මෙහෙයුම් තීව්‍ර කිරීම වැනි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදි.

බලපිටිය ජීවිතාරක්‍ෂක පුහුණු පාසලේ සිදුකළ සංචාරයේදී, ජීවිත බේරා ගැනීම සම්බන්ධයෙන් වෙරළාරක්‍ෂකයින් ඉටුකරන කාර්යභාරය නියෝජ්‍ය අමාත්‍යවරයා  අගය කළේය. සජීවී ජීවිතාරක්‍ෂක නිදර්ශනයක් ද ඔහු නැරඹීය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන), වෙරළාරක්‍ෂක බලකා මූලස්ථානයේ සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.