සාම පාගමනේ තෙවන දිනය අගමැතිනියගේ සහභාගීත්වයෙන් ඇරඹෙයි

සාම පාගමනේ තෙවන දිනය අගමැතිනියගේ සහභාගීත්වයෙන් ඇරඹෙයි
  • SocialShare:

"ඒහිපස්සිකෝ"  සාම පාද යාත්‍රාව තෙවැනි දිනටත් අද ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් ආරම්භ වූ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියද එක් වූවාය.

තෙවන දින පාගමන ආරම්භ කිරීමට පෙර පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව දළදා මාළිගයේ පත්තිරිප්පුව අභියස විශේෂ පීඨිකාවත් මත මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද සිදු කළහ.

දළදා මාළිගය අසලින් ඇරඹි තෙවන දින සාම පාගමන මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් අවසන් වන අතර අප්‍රේල් 28 වන දින සාම පාගමනේ නිමාව සනිටුහන් කිරීමට නියමිතයි.

උභය විහාරික මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී. අබේකෝන්, දියවඩන නිලමේ නිලංග දෑළ බණ්ඩාර යන මහත්වරුන් මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

675717549 1553683466756750 5431188328257996888 n