හිස තෙල් ගෑමේ උත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියසදී

හිස තෙල් ගෑමේ උත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියසදී
  • SocialShare:

සෑම වර්ෂයකම පවත්වනු ලබන හිස තෙල් ගෑමේ උත්සවය මෙවරත් අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාමියන්ගේ ප්‍රධාන්තවයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියස දී ඊයේ (15) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

සිංහල අවුරුදු චාරිත්‍ර අතර වැදගත් ස්ථානයක් හිමි කර ගන්නා චාරිත්‍රයක් ලෙස හිස තෙල් ගෑමේ චාරිත්‍රය හඳුන්වන අතර හිස තෙල් ගැල්වීමේ චාරිත්‍රය මගින් සෞඛ්‍ය, ආශීර්වාදය හා සමාජ සම්බන්ධතා එකට බැඳෙන අවස්ථාවක් ලෙස සැලකේ. තෙල් හිසට ගා ආශීර්වාදය ලබාදීම තුළින් ශරීරය ශක්තිමත් කර ගැනීමත්, මනස සන්සුන් කර ගැනීමත් අරමුණ වේ. එමෙන්ම අධ්‍යාත්මික හා සමාජ අගයන්ද එකතු කරමින් හිස තෙල් ගෑම සිදු කරනු ලබයි.

ඒ අනුව අප්‍රේල් මස 15 වෙනි බදාදා පුර්වභාග 06.55 ට පච්ච වර්ණය හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොම් පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගෑම මහ සංඝරත්නයේ සෙත් පිරිත් ආශීර්වාද මධ්‍යයේ සිදු කරෙනි.

එමෙන්ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් උදෙසා සෑම වර්ෂයකම පවත්වනු ලබන කිරිබත් සහ කැවිළි දන්සල මෙවරත් මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් පවත්වනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ, සහකාර ප්‍රාදේශීය ලේකම් නිමේශ් මධුශංඛ, පරිපාලන ග්‍රාම නිලධාරී කේ.ජී.චන්ද්‍රසේකර, පරිපාලන නිලධාරි අජන්තා ආරියසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් බොහෝ පිරිසක් සහභාගී වූහ.