වැල්ලවායේ අනවසර තිරුවානා කැණීම් මධ්‍යස්ථානයක් වටලයි

වැල්ලවායේ අනවසර තිරුවානා කැණීම් මධ්‍යස්ථානයක් වටලයි
  • SocialShare:

වැල්ලවාය අලිකොටආර ප්‍රදේශයේ කොටිකම්බොක්ක තිරුවානා නිධිය ආශ්‍රිතව රහසිගතව පවත්වාගෙන ගිය අනවසර තිරුවානා කැණීම් ස්ථානයක් වැටලීමට ශ්‍රි ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැටලිම් ඒකකයේ නිලධාරින්ට හැකි වී තිබේ.‍

පරිසරයට දැඩි ලෙස හානි සිදු කරමින් පවත්වා ගෙන ගිය මෙම කැණීම් භූමියේදී සැකකරුවන් සමග තිරුවානා ඛණිජ කියුබ් 70ක් පමණ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් සහ උපකරණ ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම තිරුවානා නිධිය ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නිරීක්ෂණයට ලක් වී ඇති අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී මෙහි සංරක්ෂණය වෙනුවෙන් තීන්දු තීරණ රැසක් ගෙන තිබේ.
රටේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් රට තුළ පවතින ඛණිජ සම්පත් නිසි නියාමනයෙන් යුතුව පරිසරය ආරක්ෂා කර ගනිමින් රටේ තිරසාර සංවර්ධනයට යොදා ගැනීමට සහ පරිසරයට දැඩි හානි පමුනුවමින් අනවරයෙන් සිදු කරන කැණිම් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් යුතුව කටයුතු කිරීම හා ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සිදු කරයි.