ආපදාවට ලක්වූ ජනතාව වෙනුවෙන් සුරක්ෂා මධ්‍යස්ථාන ආශ්‍රිතව සුවිශේෂී "ආරෝග්‍යා " ජංගම සුව සායන මාලාවක්

ආපදාවට ලක්වූ ජනතාව වෙනුවෙන් සුරක්ෂා මධ්‍යස්ථාන ආශ්‍රිතව සුවිශේෂී "ආරෝග්‍යා "  ජංගම සුව සායන මාලාවක්
  • SocialShare:

පසුගිය දා ආපදාවට ලක්වූ ප්‍රදේශවල අවතැන් වූ ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා මධ්‍යස්ථාන ආශ්‍රිතව සුවිශේෂී "ආරෝග්‍යා "  ජංගම සුව සායන මාලාවක් මේ දිනවල පැවැත්වේ.

ජාතික විද්වත් සංවිධානය, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව නියෝජනය කරමින් වෛද්‍ය සිසුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම ජංගම කදවුරු මාලාව පැවැත්වේ.

මේ යටතේ පැවැත්වූ "ආරෝග්‍යා" ජංගම සුව සායන කිහිපයක් පසුගිය දින කිහිපය තුළ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක මූලික කරගනිමින් පවත්වනු ලැබූ අතර ගෙවුනු දින කිහිපය තුළ මල්වාන, කැළණිය කඩුවෙල, යන ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇති  සුරක්ෂා මධ්‍යස්ථාන කේන්ද්‍රකර ගනිමින් පවත්වන ලදී.

මෙම ජංගම සුව සායන සංවිධානයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පූර්ණ දායකත්වය ලබා දුන්  අතර විශේෂයෙන්ම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව නියෝජනය කරමින් වෛද්‍ය සිසුන්, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජාතික විද්වත් සංවිධානය යන සංවිධානවල සුවිශේෂී දායකත්වය මෙන්ම ප්‍රජා සංවිධානවල දායකත්වයද ලැබී තිබුණි.

ජලය බැස නොගොස් ඇති ප්‍රදේශවලට බෝට්ටු වලින් සහ විශේෂ රථවලින් ගොස් ප්‍රතිකාර කිරීම සහ වෛද්‍ය උපදෙස් ලබා දීමටද වෛද්‍ය නිලධාරීන් ප්‍රමුඛ සෞඛ්‍ය වෘත්තියන් මෙහි දී කටයුතු කර තිබුණි.

මෙම සුවිශේෂී "ආරෝග්‍යා" ජංගම සුව සායන මාලාව සදහා කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම තදාසන්න ප්‍රදේශවල රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලය මෙම කාර්ය සදහා  සිය දායකත්වය ලබා දී තිබුණි.

මෙම ජංගම සුව සායන මාලාවේ දී සමහර ස්ථානවලට පැමිණි රෝගීන් පරීක්ෂා කිරීම ජංගම රථවල සිට මෙන්ම මාර්ගය දෙපස සිට ද සිදුකර ඇති අතර ප්‍රතිකාර සදහා පැමිණි සියළු රෝගීන්ට අවශ්‍යවන ඖෂධ ලබා දීමට ද කටයුතු කර තිබුණි.