චාවකච්චේරි මඩ්ඩුවිල් ප්‍රදේශයේ ඉදි කළ "යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ" ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමේ උත්සවය පසුගියදා (30) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් වැය කොට ඉදි කළ මෙම යාපනය ආර්ථික මධ්‍යස්ථානය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන මෙතෙක් කාලයක් අතහැර දමා තිබිණි.
ඒ අනුව පසුගිය අගෝස්තු මස 12 වන දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා යාපනය ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවෙන් පසු මෙම ආර්ථික මධ්‍යස්ථානය නවීකරණය කිරීම සඳහා අදාල උපදෙස් ලබා දෙන ලදි.
ඒ අනුව "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන රජයේ වැඩපිළිවෙල යටතේ අදාල සියලු යටිතල පහසුකම් ලබා දෙමින් විෂය භාර අමාත්‍යවරයා ලෙස මෙහි අධීක්ෂණ කටයුතු සිදු කරමින් පොරොන්දු වූ පරිදි යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම යාපනය ප්‍රදේශයේ විශාල ජන සහභාගිත්වයකින් යුතුව සිදු විය.
මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලංකුමරන් කරුණානන්දන් මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා අතුලු රාජ්‍ය නිලධාරීන්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසී බොහෝ ජනතාවක් සහභාගී වූහ.


