ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබා දීම නැවත ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා කළ ඉල්ලීම ඉතාලි රජයට දැනුම්දීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා එකඟත්වය පළ කරයි.
ඒ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ පසුගිය දා පැවති විශේෂ සාකච්ඡාවක දීය.
එහිදී , ඉතාලියේ රැකියා වීසා ලබාගැනීම අත්හිටුවා තිබීම පිළිබඳව අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් විමසීමක් කළ අතර ඉතාලි රජය , රටවල් කිහිපයකට රැකියා වීසා ලබා දීම නැවත විමර්ශනයකට ලක් කර ඇති බවත් එය තාවකාලික පියවරක් බවත් තනාපතිවරයා පෙන්වා දුන්නේ ය.
ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුම අප්‍රමාදීව අවසන් කිරීමට සහය වන බවටත් දැනට ප්‍රමාද වී ඇති එම ගිවිසුම ඉතාලි ප්‍රවාහන අමාත්‍යාංශය සළකා බලමින් සිටින බවත් එය නුදුරේදීම අවසන් කිරීමට සෑම සහයක්ම ලබා දෙන බවටත් තානාපතිවරයා එහිදී පැවසීය.
එමෙන්ම සංක්‍රමණික සහ සංචරණ සබඳතාවයක් පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමක් දෙරට අතර සාකච්ඡා කර අවසන් බැවින් එය ද නුදුරේදීම අත්සන් කිරීමට මෙම සාකච්ඡාව දී එකඟතාව පළ විය.
මීට අමතරව මේ වන විට ඉතාලිය ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳපොළ අතරින් 05වන ස්ථානය දිනාගෙන ඇති බව පෙන්වා දුන් තානාපතිවරයා, දැනට ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 02කට අධික ප්‍රමාණයක් ජීවත් වන බවත් 2024 වර්ෂයේ ඉතාලි සංචාරකයින් 38709ක් පමණ ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති බවත් ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාව හා ඉතාලි ජනරජය අතර පවතින ආර්ථික, සංස්කෘතික හා සංචාරක අංශයේ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට තානාපතිවරයාගේ සහයෝගය ඉල්ලා සිටි අමාත්‍යවරයා ඉතාලි රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් සෑම අවස්ථාවකදීම දක්වන සහයෝගය ද අගය කළේ ය.