පොරොන්දු වූ පරිදි පොහොර සහනාධාරය නිවැරදිව ගොවීන්ගේ ගිණුම් වෙත බැර කර තිබෙන බවත්, දිස්ත්‍රික්ක 25 සඳහාම 95%ක පමණ මුදල් ප්‍රමාණයක් නිදහස් කර ඇතැයි , ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. 2024 වර්ෂයේ මහ කන්නයට අදාළ පොහොර සහනාධාරය ලබා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයා මේ බව පැවසීය.
අනුරාධපුරය, අම්පාර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට වැඩිම සහනාධාර මුදල් ලබා දී තිබේ. පොහොර සහනාධාරය සඳහා පසුගිය දෙසැම්බර් 31 දක්වා, ගොවින් හය ලක්ෂ හැත්තෑ නව දහසක් වෙනුවෙන්, රුපියන් මිලියන 9989ක් නිදහස් කර ඇති බවත් ඒ මහතා පැවසීය. ඒ අනුව මේ දක්වා ගොවීන් වෙත නිදහස් කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 16,369ක් බවත්, ගොවීන් නව ලක්ෂ අනූ නව දහසක් වෙනුවෙන් මෙම මුදල් වෙන් කර ඇතැයිද කීය.
අද දිනයේදීත් තවත් මුදල් ප්‍රමාණයක් ගොවීන් වෙත ලබා දීමට නියමිත බවද, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
පසුගිය දිනවල ගොවීන් නොමග යැවීමට ඇතැම් පාර්ශව විවිධ අසත්‍ය ප්‍රකාශ සිදු කළද , එම සහනාධාරය නිවැරදිව ගොවීන්ගේ ගිණුම් වෙත බැර කර ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.