මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2014.10.31

    ඔක්තෝබර් 31, 2014
    කුරුණෑගල නගර අලංකරණ ව්‍යාපෘතිය
     
    කුරුණෑගල නගරයේ සෞන්දර්යාත්මක බව වැඩිකරමින් මහජනතාව සඳහා විවේක හා විනෝද පහසුකම් ලබාදීම අරමුණු කරගෙන නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මේ වන විටත් කුරුණැගල වැව හා ඒ අවට ප‍්‍රදේශය භූදර්ශනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කර ඇත. 
     
    මෙම ව්‍යාපෘතිය මඟින් කිලෝමීටර් 3.5ක දිගින් යුත් පා පැදි මං තීරුවක් සහිත ව්‍යායාම මං තීරුවකින්, දැනට ඇති ගස් නඩත්තු කිරීම හා අලුතින් පැළ සිටුවීම, වාහන නැවතුම් පොළවල් ඉදිකිරීම, ව්‍යාපෘති භූමිය විදුලි ආලෝකමත් කිරීම, වීථි අසුන් සකස් කිරීම, විවේකාගාරයක් හා ව්‍යායාම ශාලාවක් ඉදිකිරීම ආදී අංගයන්ගෙන් සමන්විත වේ. 
     
    මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් මුළු ව්‍යාපෘති පිරිවැය ලෙස රුපියල් මිලියන 217.0 ක් ඇස්තමේන්තු කර ඇත.
     
    මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් රාජ්‍ය ආරක්ෂක 
    හා නාගරික සංවර්ධන අමාත්‍ය ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ  
    අනුමැතිය ලබා දෙන ලදී.  
     
     
    අනුරාධපුර මහජන පොළ ප‍්‍රතිසංවර්ධනය කිරීම
     
    උතුරු මැද පළාත් ව්‍යුහ සැලැස්මේ අධි නාගරික කලාපයට අයත් නගරයක් ලෙස හඳුනාගෙන ඇති අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනුරාධපුර නගරය සඳහා 
    සකස් කරන ලද සංවර්ධන සැලැස්මට අනුව (වර්ෂ 2006 - 2016) අනුරාධපුර මහ නගර සභාව සතු හෙක්ටයාර් 1.19ක් විශාල භූමිය මහජන පොළ සංවර්ධනයට හඳුනාගෙන ඇත.  
     
    මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.  
     
     
    නිරෝගී ලංකා ජාතික සෞඛ්‍ය වැඩසටහන - 2014
     
    මහජනතාවට නිදහස් සෞඛ්‍ය සේවයක් ලබාදීම සඳහා 2014 අයවැයෙන් රුපියල් 
    බිලියන 157ක ප‍්‍රතිපාදන වෙන් කර ඇත. 
     
    එබැවින් 2014.12.01 දින සිට 2014.12.07 දින දක්වා කාලය නිරෝගී ලංකා ජාතික සෞඛ්‍ය වැඩසටහන - 2014 ලෙස නම් කොට එම දිනවලට අදාළ විශේෂිත කාර්යයන් ඇතුළත් වැඩසටහනක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
     
     
    ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ සංවර්ධන කටයුතු පුළුල් කිරීම සඳහා ඉඩමක් මිලදී ගැනීම
     
    වසර 1999දී ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය පීඨ 4කින් සහ අධ්‍යනාංශ 16කින් සමන්විත වේ. ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨ හා ව්‍යාපාරික පීඨ සඳහා බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩි කිරීමටත් 2016 වර්ෂයේ දී මෙම පීඨ සඳහා සිසුන් 100ක් මෑතකදී හඳුන්වා දෙන ලදී. 
     
    මෑතකදී හඳුන්වා දෙන ලද තාක්ෂණ විද්‍යා අංශය වෙන ම දෙපාර්තමේන්තුවක් වශයෙන් පවත්වාගෙන යාමටත් විශ්වවිද්‍යාලයේ අනාගත ව්‍යාපෘති ව්‍යාප්ත කිරීමේ කටයුතු සඳහා විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය පරිශ‍්‍රයට යාබදව පිහිටා ඇති ඉඩම මිලදී ගැනීමටත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදෙන ලදී.  
      
     
    "ස්වභාවික ආපදා සඳහා කඩිනම් ප‍්‍රතිචාර දැක්වීමට සඳහා සාක් ගිවිසුම" අපරානුමත කිරීම
     
    ඉහත සඳහන් ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. මෙම ගිවිසුම 2014 නොවැම්බර් මස පැවැත්වීමට නියමිත සාර්ක් සමුළුවේදී අපරානුමත කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     
     
    මහනුවර නාගරික ජල සැපයුම් පද්ධති පුනරුත්ථාපන හා වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණ කරන සහ ඉදිකිරීම් අධීක්ෂණ උපදේශාත්මක සේවා ලබා ගැනීම
     
    මහනුවර මහ නගර සභා සීමාව තුළ ප‍්‍රධාන ව්‍යාපෘතියක් වශයෙන් මහනුවර ජල සම්පාදන 
    යෝජනා ක‍්‍රමය ප‍්‍රවර්ධනය කිරීම හා එහි ප‍්‍රතිසංස්කරණ කටයුතු කිරීම හඳුනා ගෙන ඇත.
     
    මෙම ව්‍යාපෘතියේ සැලසුම් කිරීම්, නිරීක්ෂණය, ප‍්‍රවර්ධනය හා ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා උපදේශන සේවා ලබා දීමේ කාර්ය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පැවරීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී. 
     
    අධිවේගී මාර්ග ජාලය සමග සම්බන්ධ වන ජාතික මහා මාර්ගයන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම, ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම හා සවිස්තරාත්මක ඉංජිනේරු සැලැස්ම සඳහා උපදේශක සේවා සැපයීම පිණිස කොන්ත‍්‍රාත්තුව ප‍්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනිම.
     
    කැබිනට් උපදේශක ප‍්‍රසම්පාදන කමිටුව මගින් නිර්දේශ කර ඇති පරිදි ඉහත කී කොන්ත‍්‍රාත්තුව ප‍්‍රදානය කිරීමට මහා මාර්ග වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     
     
    නෞකාවේ සිට වෙරළ දක්වා බහළු මෙහෙයුම් දොඹකර (STC) 4ක් හා රබර් ටයර් සහිත ගැන්ටි‍්‍ර දොඹකර (RTG)12ක් සැපයීම, සවි කිරීම සහ ආරම්භ කිරීම
     
    කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ සැලසුම් කරන ලද පර්යන්ත ත‍්‍රිත්වය අතුරින් 2015 වසරේ මුල් භාගයේ දී ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මෙහෙයුම් කිරීමට අපේක්ෂිත එක ම පර්යන්තය නැගෙනහිර බහළු පර්යන්තය (ETC) වේ.
     
    නැඟෙනහිර පර්යන්තයේ බහළු කටයුතු සිදු කර ගෙන යාම සඳහා ඉහත සඳහන් ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීමට මහා මාර්ග, වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී. 
     
     
    දේශීය කොන්ත‍්‍රාත්කරුවන් මඟින් ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා දේශීය බැංකු විසින් අරමුදල් සැපයීම අදියර 03 යටතේ පුනරුත්ථාපනය කිරීමට නියමිත මාර්ග ලැයිස්තුව සඳහා අනුමැතිය ලබා ගැනීම
     
    අදියර 03 යටතේ පුනරුත්ථාපනය කළ යුතු මාර්ග කිලෝ මීටර් 612.65 මාර්ග සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගෙන ඇත. කැබිනට් ප‍්‍රසම්පදාන කමිටුව මඟින් නිර්දේශිත පරිදි මෙම මාර්ග පුනරුත්ථාපන කටයුතු ක‍්‍රියාත්මක කිරීම සඳහා මහා මාර්ග, වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී. 
     
     
    උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධ කරන අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා (කිලෝමීටර් 14) සහ 04 වන පැකේජයේ කිලෝමීටර් 3.5 ක් ඉදිකිරීම සහ පොතුහැර සහ රඹුක්කන අන්තර් හුවමාරු ස්ථානයන් ඉදිකිරීම
     
    උතුරු අධිවේගී මාර්ගයේ එඬේරමුල්ල සිට ගලේවල දක්වා කොටස සහ සම්බන්ධ කරන 
    අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සඳහා රජය විසින් 
    ඉහළ ප‍්‍රමුඛතාවක් ලබාදී ඇත. 
     
    කැබිනට් ප‍්‍රසම්පාදන කමිටු නිර්දේශ අනුව පැකේජ අංක 07 යනුවෙන් වෙන් කර ඇති ඉහත කී කටයුතු ක‍්‍රියාත්මක කිරීම සඳහා වූ ටෙන්ඩරය ප‍්‍රදානය කිරීමට මහා මාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.  
     
     
    දේශීය බැංකු වෙතින් ලබා ගනු ලබන අරමුදල් යොදවා ප්‍රමුඛතා ජල සම්පාදන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම 
    කන්දේකැටිය ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා කොන්ත‍්‍රාත්තුව ප‍්‍රදානය කිරීම
     
    කන්දේකැටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 10ක් කන්දේකැටිය ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් ආවරණය කරනු ලැබේ. ව්‍යාපෘති ප‍්‍රදේශයට මේ මඟින් ලබාදීමට ඇස්තමේන්තුගත ජල සම්බන්ධතා ගණන 4000ක් පමණ වේ.
     
    කැබිනට් ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ඉහත කී ව්‍යාපෘතිය ප‍්‍රදානය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.  
     
     
    දේශීය බැංකු වෙතින් ලබා ගනු ලබන අරමුදල් යටතේ ප්‍රමුඛතා ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
    විල්ගමුව ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
     
    කැබිනට් ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ඉහත ව්‍යාපෘතිය ප්‍රදානය කිරීමට ජල සම්පාදනය හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     
     
    විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සඳහා නේවාසිකාගාර 60ක් ඉදිකිරීමේ කඩිනම් ව්‍යාපෘතියෙන් නේවාසිකාගාර 02ක් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයට ලබා දීම
     
    ඉහත සඳහන් ව්‍යාපෘතිය යටතේ ඉදි කරන නේවාසිකාගාර 2ක් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයට ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     
     
    සබරගමුව පළාතේ ආදර්ශ ද්වීතියක ජාතික පාසැල රත්නපුර නගරයෙහි පිහිටුවීම
     
    සබරගමුව පළාත තුළ නව ජාතික පාසලක් රත්නපුර නගරයට ආසන්නව ඉදිකිරීමට යෝජිතය. මෙම ඉදිකිරීම් කටයුතු 2014 වසරේ තුන්වන කාර්තුවේ ආරම්භ කිරීමට නියමිතය. වසර තුනක් ඇතුළත ඉදිකිරීම් නිමා කරනු ලැබේ. මෙම ද්වීතීයක පාසල 6 වෙනි ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සමාන්තර පංති 10කින් යුක්ත වනු ඇත. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපනඅමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.
     
     
    යාත‍්‍රා සුපරීක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීම
     
    මෙ රටේ ධීවර කර්මාන්තයේ තිරසාර කළමනාකරණය සඳහා නව තාක්ෂණය නීතිගත කිරීම හා යාත‍්‍රා සුපරීක්ෂණ පද්ධතිය යන ගෝලීය සංකල්පය ක‍්‍රියාත්මක කිරීම අනිවාර්ය වී ඇති බව නිරීක්ෂණය කෙරී ඇත. 
     
    යෝජිත යාත‍්‍රා සුපරීක්ෂණ පද්ධති ව්‍යාපෘතියේ විෂය පථය වන්නේ ධීවර බෝට්ටු සඳහා සම්ප්‍රේෂණ හා ග‍්‍රාහක ගුවන් විදුලි යන්ත‍්‍ර 3000ක් හා චන්ද්‍රිකා මාර්ගයෙන් ධීවර බෝට්ටුවල පිහිටි ස්ථානය නිරීක්ෂණය කිරීමට ධීවර සුපරීකෂණ මධ්‍යස්ථානය සඳහා උපකරණ සැපයීම හා අවුරුදු 10ක කාලසීමාවක සඳහා උපකරණ, අංගෝපාංග හා මෘදුකාංග සඳහා නඩත්තුව හා සහය සැපයීම වේ. 
     
    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි යාත‍්‍රා සුපරීක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීමට අදාළ කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා ණය ගිවිසුමට අදාළ කටයුතු ඉදිරියට කරගෙන යාමට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.
     
     
    ජර්මානු රජයෙන් යුරෝ මිලියන 06ක ශිල්පීය ආධාර ලබාගැනීම
     
    ශ‍්‍රී ලංකාවේ උතුරු පළාතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම හා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ජර්මන් ෆෙඩරල් ජනරජයෙන් යුරෝ මිලියන 04ක හා යුරෝ මිලියන 5.5ක ප‍්‍රදාන ආධාර ලබාගැනීම සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 
     
    මේ ව්‍යාපෘතිවල අතිරේක කටයුතු සඳහා මූල්‍යාධාර සැපයීම සඳහා හා වත්මන් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා යුරෝ මිලියන 06ක තවත් ශිල්පීය ආධාර සැපයීමට ජර්මානු රජය එකඟතාව පළ කොට ඇත. 
     
    මේ සඳහා හුවමාරු පත‍්‍ර අත්සන් කිරීම සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya