විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රාජගිරිය, කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ අලුතින් ඉදි කළ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය, නවීකරණය කරන ලද ප්‍රධාන ශාලාව හා ක්‍රීඩා පිටිය සිසු අයිතියට පත්කිරීම සහ සිද්ධාර්ථ කලා මංගල්‍යය ආරම්භ කිරීම වෙනුවෙන් අද (01) දින පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ අමාත්‍යවරයා "මියගිය කොටි නායක එලිලන්ගේ බිරිඳ උතුරු පළාත් සභාවේ ශෂීධරන් මන්ත්‍රීතුමිය දෙමළ ගුවන්විදුලි නාලිකාවක් සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කරලා තියෙනවා ඉදිරි අවුරුදු 10 -15ක් ඇතුළත අපි අපේ ඉලක්ක සපුරාගන්නවා. දිනන අපේක්ෂකයත් සමඟ අපි සාකච්ඡා පටන් ගන්නේ එල්.ටී.ටී.ඊ.ය නතර කරපු තැන ඉඳලා යනුවෙන් ප්‍රකාශ කරලා තියෙනවා. හැදෙන රට නැවත අස්ථාවර කරන්න, අරාජික කරන්න විවිධ දුෂ්ඨ බලවේග මෙහෙම බලාපොරොත්තු තබාගෙන සිටිනවා".
"ජනාධිපතිතුමන් විදේශ බලවේගවලට ඕන විදිහට මේ රට නැටෙව්වේ නැහැ. 13 ප්ලස් ඉල්ලුවාට ප්ලස් දුන්නේ නැහැ. මෙය පුළුවන් නම් මයිනස් කරන්න බැලුවේ. උතුරේ නාඩගම් නටන්න හදනකොට සංශෝධන ගෙනාවා මයිනස් කරන්න පුළුවන්ද බලන්න. මේ අය බලාගෙන ඉන්නවා මෙය තර්ටීන් ප්ලස් කරගෙන පොලිස් බලය, ඉඩම් බලය ගන්න. ඒ බලය අරගෙන උතුර හා නැගෙනහිර පළාත් සභා එකට එකතුකරන්න" යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස මෙම නව ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය ඉදිකිරීම සහ ක්‍රීඩා පිටිය නවීකරණය කිරීමේ කටයුතු සිදුකර තිබේ. මේ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වැය කළ මුදල රුපියල් ලක්ෂ 48කට අධිකය. මෙහි ප්‍රධාන ශාලාව නවීකරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් වැයවී තිබේ.
2012 වර්ෂයේ දී වසා දැමීමට නියමිතව තිබූ මෙම කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය විමල් වීරවංශ අමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් නැවත සිසු අයිතියට පත්කරන ලදී. ප්‍රාථමික පාසලක් වන මෙම විද්‍යාලයේ 160කට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපනය හදාරන අතර 8 දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයකින් ද සමන්විතය.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, නාගරික මන්ත්‍රී දීපාල් හෙට්ටිආරච්චි කඩුවෙල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා තනූජා රංගොඩගේ, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා යන මහත්ම මහත්මීහු, ආරාධිත පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු, සිසු සිසුවියෝ, දෙමව්පියෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
DB