මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඹිලිපිටියේ විදුලි යෝජනා ක්‍රම හතරක් ජනතා අයිතියට

    නොවැම්බර් 10, 2014

    රත්නපුර, කොළොන්න මැතිවරණ කොට්ඨාශයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ විදුලි යෝජනාක්‍රම හතරක් පසුගිය බ්‍රහස්පතින්දා (06) අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතින් ජනතා අයිතියට පත්විය.


    ඇඹිලිපිටිය පනාමුර වීරගල වැදිගල විදුලි යෝජනා ක්‍රමය, දියපොත මැදවාඩිය විදුලි යෝජනා ක්‍රමය ඇතුළු විදුලි යෝජනා ක්‍රම  හතරක් මෙසේ ජනතා අයිතියට පත්කළ අතර ඉන් නිවාස 500කට පමණ විදුලිය සැපයේ. මේ සඳහා රජය වැයකළ මුදල රුපියල් මිලියන 35කි.


    කංකුං මිටිය, ගොටුකොළ මිටිය පිටරටින් ගෙනා යුගයක් පැවති බවත්, එය අවසන් කළේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී ප්‍රකාශ කළාය.


    රටට අවශ්‍ය දේ රට තුළ නිපදවා ගැනීම දක්වා, ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වූයේ තුන්කල් දක්නා නායකයෙකු රටට බිහි වූ නිසා යැයි අමාත්‍යවරිය කියා සිටියාය.


    එහිදී අමාත්‍යවරිය ප්‍රකාශ කළේ රටට ගැළපෙන ආර්ථික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ බැවින් දකුණු ආසියාවේ, චීනය හැර වැඩි ම ආර්ථික වර්ධන වේගය සනිටුහන් කළ රට බවට, ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි.


    තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය, "මේ වසර ඇතුළත අපි විදුලිය 100%ක් දීලා අවසන් කරන්න සූදානම්, එදා අපිට විදුලිය කියන්නේ හීනයක් වගේ. ගම්වලට ගියා ම මිනිස්සු අහනවා කවද්ද අපිට විදුලිය දෙන්නේ කියලා. අපි එතනදි ජනතාවට පොරොන්දු වෙනවා, කොහොම හරි විදුලිය දෙනවා කියලා. මිනිස්සු ඉදිරිපිට අපි එහෙම කිව්වත් අපි ආයේ කල්පනා කරනවා කොහොමද මේ මිනිස්සුන්ට විදුලිය දෙන්නේ කියලා. කොහෙන්ද සල්ලි, එක පැත්තකින් යුද්ධය, මහජන නියෝජිතයින්ට පොදු වැඩ සඳහා වෙන්කරන ප්‍රතිපාදනත් එදා සීමාවෙලා තිබුණා. සැබෑවටම එදා අපි ගමට ගිහින් ජනතාවගේ ප්‍රශ්න හඳුනාගත්තත්, එය ක්‍රියාත්මක කරන්න මුදල් හොයාගන්න එක ප්‍රශ්නයක් වෙලා තිබුණා.


    මේ අරාජික කාලසීමාවේදි තමයි, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාරගත්තේ. අපි 2005 වසරේදි හොඳ ප්‍රවේශයක් ගත්තා. යුද්ධය නිසා අනාගතයක් ගැන හිතන්න තරම් අපිට ශක්තියක් තිබුණේ නැහැ. පළමුව යුද්ධය අවසන් කළා. මොන බලපෑම් ආවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්ගේ අරමුණ තුළ වැඩකළා. එතුමා මහපොළොවේ පය ගසා සිටින නායකයෙක් නිසා ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගත්තා. ඒ නිසා  මොන කෙනෙහිලිකම් තිබුණත් මේ මව්බිමට ආදරය කරන, රටේ බහුතර පිරිසක් ඒ වටා එක්වුණා. අදත් එතුමාට තියෙන්නේ ඒ හයිය.


    අද අපි මහා මාර්ග, ග්‍රාමීය මාර්ග හදාගෙන යනවා. සංවර්ධනය කියන එක අපි නොසිතපු තැනකට ගෙනාවා. අද  විදුලිය නැති ගමක් හොයා ගන්න බැහැ. එදා ගමට විදුලිය ආවත් විදුලිය නිවසට ගන්න මහා කාලයක් යනවා. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසා, අද සෑම ගමකම, සෑම නිවසක් ඉදිරිපිට විදුලි කණුවක් සිටුවන්න පියවර ගෙන තියනවා. ඒ විතරක් නොවේ. නිවස ඉදිරිපිට විදුලි කණුව තිබුණට, විදුලිය ගන්න නොහැකි පිරිසක් ඉන්නවා. ඒ අයට විශේෂ සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. රුපියල් 40,000ක් දෙනවා ගෙදරට විදුලිය ගන්නයි, නිවස වයරින් කරගන්නයි. මේ සහන ණය මුදල විදුලි බිල සමඟ වාරික 72 කින් ගෙවා නිම කරන්න අවස්ථාව දීල තියෙනවා.

     

    අද අපිට අවශ්‍ය හාල් ටික එළවළු ටික අපිම නිපදවා ගන්නවා. එදා කංකුං මිටිය, ගොටුකොළ මිටිය, කොහිල මිටිය, පිටරටින් ගෙනාවා. ඒ යුගය අමතක නැහැ. අපි දීන ජාතියක් ලෙස හිටියේ. සමහර රටවල් අපේ රට සංචාරය කිරීමට නුසුදුසු රටක් ලෙස එදා නම් කරලා  තිබුණෙ. අද එහෙම නැහැ. සංචාරක ව්‍යාපාරය දිනෙන් දින වර්ධනය වෙනවා. නිෂ්පාදන අපනයනය ඉහළ ගිහින් තව වසර තුන හතරකින්, මේ දරුවන්ගේ ලෝකය මහා වෙනසකට ලක්වේවි. අද විදුලිය ලැබීම නිසා, ජන ජීවිතය වෙනස් වෙලා. ග්‍රාමීය වශයෙන් කර්මාන්ත දියුණු වෙලා. සැබෑ ලෙසට ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට පැමිණ තිබෙනවා" යැයිද පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහන මහතා, කොළොන්න ප්‍රාදේශීය සභා සභාපති සුරන්ත වීරසිංහ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya