මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුෂ්කර ගුරු හිඟය පියවීම සඳහා ගුරු සහයකයන් 50,000ක්

    නොවැම්බර් 05, 2014
    දුෂ්කර ගුරු හිඟය පියවීම සඳහා ගුරු සහයකයන් 50,000ක් වසර 5ක් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පාසලක සේවය කිරීමේ කොන්දේසියට යටත් ව බඳවා ගෙන වසර 4ක සේවයකින් පසු එම ගුරු සහයකයන්ට අධ්‍යාපනවේදී උපාධියක් ලබා දී උපධිධාරී ගුරුවරුන් ලෙස ස්ථිර කර ශ්‍රී ලංකා ගුරුසේවයට අන්තර්ග්‍රහණය කිරීමට 2015 අයවැයෙන් ඉඩ සලසන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ සංවර්ධන කටයුතු හා ප්‍රගතිය පිළිබඳ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවේදී ය.
     
    දැනුම කේන්ද්‍රීය මානව සංවර්ධනය අරමුණු කරගෙන අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැයේ දරුවන් වෙනුවෙන් සිදුකර ඇති අධ්‍යාපනයේ සංවර්ධනය පිළිබඳ ව අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී මාධ්‍ය දැනුවත් කළේ ය.
     
    දිවයිනේ පාසල් 1000ක් තෝරාගෙන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 1000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මේ වනවිටත් නිම වෙමින් පවතින අතර මේ වනවිට සියලු මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සාදා නිම කර ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේ ය. මෙම වැඩපිළිවෙළ තුළින් ගණිතාගාර 1000, භාෂාගාර 1000ක්, තොරතුරු තාක්ෂණාගාර 1000ක් සහ නැණස දුරස්ත අධ්‍යාපන ඒකක 1000ක් දැයේ දරුවන්ට හිමි වේ.
     
    2010 වර්ෂය වන විට සිසුන් නොමැති වීම, ගුරු හිඟය හා වෙනත් හේතූන් මත දිවයින පුරා වැසී තිබූ ප්‍රාථමික පාසල් 327ක් 2013වසර වනවිට විවෘත කර 'ළමා මිතුරු පාසල්' ලෙස යළි ප්‍රතිනිර්මාණය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට හැකි වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
     
    යුනිසෙෆ් ආධාර සහිත ව සංවර්ධනය කළ ප්‍රාථමික පාසල් 1,500ක්, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා එක් ව සංවර්ධනය කළ පාසල් 5000ක් හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීම මත සිසුන් 50ට අඩු පාසල් සංවර්ධන වැඩසටහන යටතේ පාසල් 1552ක් ආරක්ෂිත වැට, ගේට්ටු, ක්‍රියාකාරකම් කාමරය, සෙල්ලම් මිදුල හා සියලු ම සනීපාරක්ෂක හා විදුලි පහසුකම් සමඟ ප්‍රතිසංස්කරණය කර ළමා මිතුරු ප්‍රාථමික පාසල් ලෙස දරුවන්ට ලබා දීමට  අධ්‍යාපන අමාත්‍යංශය පියවර ‍ගත් බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.
     
    2016 වන විට දරුවෙකු පාසල් අධ්‍යපනයෙන් සමුගන්නා විට අස්වීමේ සහතිකයට අමතරව තාක්ෂණවේදය හා සම්බන්ධ NVQ 3 සහතිකයක් හා නිපුණතා සහතිකයක් ද ලබා දීමට එම ව්‍යාපෘතිය ඉවහල් වනු ඇත.
     
    මහරගම ඉදිකෙරෙමින් පවතින ව්‍යවසායකත්වය හා කළමනාකරණ විද්‍යාපීඨය මෙම වසරේ දෙසැම්බර් 31ට පෙර විවෘත කිරීමට අපේකෂා කරන අතර මේ වන විටත් උසස් පෙළ වාණිජ හා කළමනාකරණය අංශයෙන් සමත් සිසුසිසුවියන් 400ක් ඒ සඳහා ඇතුළත් කරගෙන ඇති අතර ලබන වසරේ ජනවාරි මාසයේ දී එහි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
     
    පවතින රුපියල් 2500ක් වූ විද්‍යාපීඨ දීමනාව රුපියල් 4000ක් දක්වා වැඩි කිරීමට වූ 2015 අයවැය යෝජනාව පිළිබඳව ද අමාත්‍යවරයා සිය අදහස් ප්‍රකාශ කළේ ය.
     
    අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතා, විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා,  ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් එම් අබේරත්න බණ්ඩාර මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන් පිරිසක් මීට එක් වූහ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya