මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයෝජකයන්ට මාලදිවයිනේ ඉදිකිරීම් අවස්ථා

    නොවැම්බර් 05, 2014
    ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයෝජකයන්ට මාලදිවයිනේ ඉදිකිරීම් අවස්ථා ලබාදීමට මාලදිවයින් රාජ්‍ය එකඟ වේ. මාලදිවයිනේ නිවාස අමාත්‍ය මොහොමඩ් මුයිසු (Mohamed Muizzu ) මහතා සහ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර දකුණු කොරියාවේ සෝල් නුවර දී ඊයේ (04) දින පැවති විශේෂ සාකච්ඡාවක දී මේ බව අනාවරණය විය.
     
    ශ්‍රී ලංකාව මේ වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන බවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධන වේගය 22% ඉක්මවා ගොස් තිබෙන බව ද විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ  ය. 
     
    එම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයතනවලට මෙන් ම ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ සිටින පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට මාලදිවයින තුළ ඉදිකිරීම් සඳහා අවස්ථා ලබාදෙන ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයා කළ ඉල්ලීමට එකඟත්වය පල කළ මාලදිවයිනේ නිවාස අමාත්‍යවරයා කියා සිටියේ කඩිනමින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව යි. 
     
    ඒ පිළිබඳ ව සොයා බැලීමටත් එහි මූලික කරුණු සාකච්ඡා කර ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමටත් මාලදිවයිනේ නිල සංචාරයකට පැමිණෙන ලෙස එරට නිවාස අමාත්‍යවරයා  විසින් විමල් වීරවංශ අමාත්‍යවරයා වෙත ආරාධනා කරන ලදී.  එම ආරාධනාව ඉතා සුහදශීලී ව පිළිගත් විමල් වීරවංශ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳ දැනුම  හුවමාරු  කරගැනීම රටවල් දෙකට ම ඉතා වැදගත් වන බව යි.
     
    මීට අමතරව මාලදිවයිනේ සිටින ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශිල්පීන්ට ශ්‍රී ලංකාවේ පුහුණුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට එකඟත්වය පලකරමින් විමල් වීරවංශ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිකිරීම්  අභ්‍යාස සංවර්ධන  ආයතනය (ICTAD) හරහා එම පුහුණුවීම් ලබාදිය හැකි බව යි. ඒ පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් කඩිනමින් නිර්මාණය කිරීමට ද මෙහි දි තීරණය කෙරිණි.
     
    ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ ව සිය ප්‍රසාදය පල කළ මාලදිවයින් රජයේ  නිවාස අමාත්‍යවරයා කියා සිටියේ  ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳ  ශ්‍රී ලංකාවේ දැනුම තම රටට හා  තම  රටේ ශිල්පීන්ටද ඉතා වැදගත් වන බව යි. දෙරටේ මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ව ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක් කෙරිණි.
     
    දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවැත්වෙන පස්වෙනි ආසියා ශාන්තිකර නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුවට ( 5th Asia Pacific Ministerial Conference On Housing And Urban Development (APMCHUD) සමගාමීව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නිවාස අමාත්‍යවරුන් අතර මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya