අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය රු. 6000ක් කිරීමට රජයේ අවධානය

    අප්‍රේල් 22, 2014

    මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය යටතේ ලබා දෙන රුපියල් 2500.00ක මුදල ඉදිරියේදී රුපියල් 6000.00 දක්වා වැඩි කිරීමට අවධානය යොමු කොට ඇති බවත් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ට අර්ධ කාලීන රැකියා කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ වැඩපිළිවෙළක් සැලසුම් කරන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.


    මෙවර මහනුවර දිස්ත්‍රික්කයෙන් සරසවි වරම් ලැබූ මහපොළ ශිෂ්‍යත්වලාභීන් වෙත මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පසුගියදා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.  ‍


    අමාත්‍යවරයා පැවසුවේ දැනට ලබා දෙන රුපියල් 2500ක මුදල වර්තමානයේදී විශ්වවිද්‍යාල දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බවයි. එම නිසා සරසවි වරම් ලබන දරුවන්ගේ පවුලේ ආර්ථිකය සලකා බලා ඒ ඒ ආර්ථික මට්ටම් අනුව එම මුදල වැඩි  කිරීමට කටයුතු සැලසුම් කරන බව පැවසූ අමාත්‍යවරයා මේ පිළිබද අතිගරු ජනාධිපතිතුමන්ගේ අවධානයද යොමු කර ඇතැයි ද සඳහන් කළේය.


    ඉදි‍රියේදී විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සැලසුම් කිරීමේදී අර්ධකාලීන රැකියා කිරීමට අවශ්‍ය පසුබිම සලකා බලා දේශන කාලසටහන් සකස් කරන බව ද අමාත්‍යවරයා පැවසීය. දේශනවලට බාධාවක් ඇති නොවන පරිදි පැය කිහිපයක් රැකියාවක් කිරීමට ඒ මඟින් හැකියාව ලැබෙන බව පැවසූ අමාත්‍යවරයා ඒ මඟින් විශ්වවිද්‍යාල සිසුවා රැකියා ක්ෂේත්‍රයේ විවිධ අත්දැකීම් ලබා ගැනීමටත් තම අධ්‍යාපන කටයුතු සඳහා අමතර මුදලක් සපයා ගැනීමටත් හැකියාව ලැබෙන බව පැවසීය.


    දිනකට පැය කිහිපයක් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදි මෙම අර්ධ කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බව පැවසූ අමාත්‍යවරයා දැනටමත් මෙරට ප්‍රධානතම පෞද්ගලික ආයතන කිහිපයක්ම මෙම වැඩපිළිවෙළ සඳහා ඉතා සතුටින් තම එකඟත්වය පළ කොට ඇති බවද පැවසීය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එවැනි අර්ධ කාලීන රැකියා ලබා දීමට කැමැත්තක් දක්වන පෞදගලික අංශයේ ආයතනවලට ලබා දෙන දිරිදීමක් ලෙස ඉදිරි අයවැයේදී විවිධ සහන ලබාදීමට කටයුතු කිරීමට ජනාධිපතිතුමන් තීරණය කොට ඇති බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.


    දැනට බොහෝ විදෙස් රටවල මෙවැනි ක්‍රම ඉතා සාර්ථකව ක්‍රියාක්මක වන ‍බව පෙන්වා දුන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා එවිට මහපොළ ශිෂ්‍යත්වයට අමතරව මාසකට එක් විශ්වවිද්‍යාල ශිෂ‍්‍යයෙකුට රුපියල් 20,000ක පමණ අවම ආදායමක් උපයා ගත හැකි බව පෙන්වා දුන්නේය. තම අධ්‍යාපන කටයුතුවලට සහ තම අවශ්‍යතා සඳහා එම මුදල යොදා ගනිමින් පවුලට බරක් නොවන පරිදි තම උසස් අධ්‍යාපනය නිමකිරීමට මෙම වැඩපිළිවෙළ මඟින් විශ්වවිද්‍යාල සිසුන්ට හැකියාව ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


    මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ පැවති මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් විශ්වවිද්‍යාල වරම් ලබා ගත් සිසු සිසුවියන් 711 දෙනෙක් වෙත එම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි.

     

    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ මේ අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර සහ මහනුවර දිසාපති එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.


    NDH/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya