මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පදවිය මෛත්‍රීපුර නව බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට

    නොවැම්බර් 04, 2014

    පදවිය ඩී - 10 මෛත්‍රීපුර ප්‍රදේශයේ ජනතාව සඳහා රුපියල් ලක්ෂ 60 ක වියදමින් ඉදිකළ නව බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම පසුගියදා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා අතින් සිදු කෙරිණි. ප්‍රදේශයේ පවුල් 400කට මෙමගින් සෙත සැලසෙයි.

    නව බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව පැවති ජනහමුවේදී අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා සිය අදහස් ප්‍රකාශ කළේය.

     

    ඉදිරි මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂය ජයගතහොත් එදා 1977 ඔවුන් බලයට පැමිණ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඇතුළු මේ රටේ ප්‍රගතිශීලී ජනතාවට කළ හිරිහැර හත් ගුණයකින් වැඩිකර සිදුකිරීමට බලා සිටින බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

     

    කෙසේ වුවත් වෛරයෙන්, ද්වේෂයෙන් ජනතාවට හිරිහැර කිරීමට හෝ ජනතා ආශිර්වාදයෙන් බැහැරව ආණ්ඩු බලය ලබාගැනීම සඳහා විපක්ෂයට, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිඳු ලෙසකින්වත් ඉඩ නොතබන බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

     

    එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා,

     

    “එක්සත් ජාතික පක්ෂය 1994 ට පෙර වසර 17 ක් ඔවුන්ගේ පාලන කාලය තුළ කිසිවක් සිදුකර නැති බව වගකීමෙන් කියන්න පුළුවන්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය දිනනවා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ගුටිකන්න සිදුවෙනවා කියන එකයි. එහෙම නැත්නම් නැවතත් මේ රටේ අවනීතිය රජ කරනවා කියන එකයි.

     

    යුද්ධය අවසන් කර රට සංවර්ධනය කර තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණ කුමක් කරන්න හදනවාද කියා අපි දන්නේ නැහැ. වැඩ නොකරන නායකයින්ට බලයේ සිටින්න මේ රටේ ජනතාව කවදාවත් තමන්ගේ ආශිර්වාදය ලබාදෙන්නේ නැහැ. ඒ නිසයි අද හොඳට වැඩ කරන නායකවරයෙක්ට මේ රට බාරදීමට ජනතාව කටයුතු කර තිබෙන්නේ.

     

    එදා අපි පදවියට ආවේ අලි නිදන වලවල් තිබූ පාරවල්වලින්. එහෙම ආවෙත් කොටි ත්‍රස්තවාදීන්ට බයෙන්. දැන් එහෙම ද? කාපට් කළ පාරේ පැයෙන් අනුරාධපුරයට යන්න පුළුවන්. එදා පැය තුනහමාරක් විතර ගත වූ ගමන අද කෙටි කාලයකින් යන්න පුළුවන් විදිහට සංවර්ධනය කළේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා නෙවෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි.

     

    එදා මේ අපේ දරුවන්ට උගන්වන්න ඈත පළාතකින් ගුරුවරයෙක් ආවෙ නැහැ. රජයේ කන්තෝරු වලට නිලධාරියෙක් ආවෙ නැහැ. නමුත් අද තත්ත්වය බලන්න. ඇයි අද ‍ගමේ ඉන්න එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් දෙතුන් දෙනාට මේ බව නොතේරෙන්නේ. හැබැයි කියන්න සතුටුයි ජනතා විමුක්ති පෙරමුණේ සිටින ගම් මට්ටමේ බුද්ධිමත් තරුණයන් අද මේ රටේ සිදු වී ඇති වෙනස තේරුම්ගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට ආශිර්වාදය ලබාදීමට අපේක්ෂාවෙන් සිටිනවා.

     

    දරුවන්ට කාන්තාවන්ට විශේෂ සැලකිල්ලක් දක්වා ඔවුන්ගේ සංවර්ධනය වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කළේ වත්මන් රජය බව විෂයභාර ඇමතිවරයා ලෙස නොබියව ඉතාම සතුටින් කියන්න පුළුවන්.

     

    රටේ  ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබාදෙන කාන්තාවට නිසි තැන ලැබුණේ ජනාධිපතිතුමා නිසයි. ඒකෙ කෘතගුණය සැලකීමට ගමේ, නගරයේ කාන්තාවෝ ජනාධිපතිවරණයක් එනතුරු බලා සිටිනවා කීවොත් මම නිවැරදියි.”

     

    පදවිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්ම ශ්‍රී සෝමතිලක මහතා ද මෙහි දී අදහස් දැක්වූ අතර පදවිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසි ජනතාව විශාල පිරිසක් මේ අවස්ථාවට පැමිණ සිටියහ.

     

    SDF

    karaliyadda 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya