අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සංගමයේ නිර්දේශවලින් අපේ ධීවර කර්මාන්තයට කිසිදු බාධාවක් සිදු වීමට ඉඩ දෙන්නේ නෑ

    නොවැම්බර් 04, 2014

    යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකා ධීවර කර්මාන්තය සම්බන්ධව ඉදිරිපත් කර ඇති නිර්දේශ නිසා මෙරට මත්ස්‍ය අපනයනවලට හෝ ධීවර කර්මාන්තයට කිසිදු බාධාවක් සිදු වීමට ඉඩ නොතබන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (04) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

    යුරෝපා සංගමය මගින් චෝදනා 72ක් සහිත ලිපියක් මඟින් ශ්‍රී ලංකාවට රතු කාඩ්පතක් නිකුත් කර ඇතැයි ඇතැම් පුවත්පත් හා මාධ්‍ය අසත්‍ය කතා පතුරුවා හැර ඇති බව ද ඇමැති රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.

     

    යුරෝපා සංගමය ඉදිරිපත් කරන ලද ලිපියේ සඳහන් කර ඇත්තේ ප්‍රකාශ හා නිර්දේශ 72ක් පමණක් බවත් එහි 2010 සිට 2014 ජූලි දක්වා මෙරට ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳව ද ඇගයීමක් සිදු කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    එහි සඳහන් නිර්දේශ සඳහා පිළිතුරු සකස් කර මෙරට ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳව ද ඇගයීමක් සමඟ පිටු 300ක වාර්තාවක් අද (04) යුරෝපා සංගමය වෙත යවන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.   

     

    එම නිර්දේශ අනුව ක්‍රියා කිරීමට ජනවාරි 15දා තෙක් කාලය පවතින බව පෙන්වා දෙන ඇමැතිවරයා, එයින් 50%කට වැඩි ප්‍රමාණයක් දැනටමත් ඉටුකර ඇති බවත් ඉදිරිපත් කර ඇති ඉතිරි නිර්දේශ මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට සම්පූර්ණ කරන බවත් පැවසුවේය.

     

    යාත්‍රා සුපරීක්ෂණ පද්ධතිය (Vezzel Monitoring System) ස්ථාපිත කරන ලෙස යුරෝපා සංගමය ඉදිරිපත් කර ඇති නිර්දේශ ඉතා කඩිනමින් ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා පද්ධතියට එක් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවත් ඒ සඳහා බැංකු ණයක් මඟින් ඩොලර් මිලියන 9.6ක පිරිවැයක් දැරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

     

    මෙම පද්ධතිය මඟින් යාත්‍රාවට යම් අනතුරක් සිදු වීමට ඉඩකඩක් පවතී නම් එය ගොඩබිමට දැනුම් දී අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට හොඳ සන්නිවේදන පද්ධතියක් වන අතර එමඟින් අනතුරට පත් යාත්‍රා ඇති ස්ථානය සොයා බලා ඒ ආසන්නයේ ඇති වෙනත් යාත්‍රා වලට ඒ බව දැනුම් දී සහයට යැවීමට ද හැකියාව ඇත. මාළුන් බහුල ප්‍රදේශ හඳුනා ගැනීමත් ජාත්‍යන්තර කාලගුණ වාර්තාව ලබා ගැනීමත් මෙම පද්ධතිය හරහා යාත්‍රාවල ධීවරයින්ට අත්වන අතිරේක ප්‍රතිලාභ වේ.

     

    යුරෝපීය රටවලට මත්ස්‍ය අපනයනයේදී අපනයන සමාගම් වෙත ඉදිරිපත් කළ යුතු යුරෝපා සංගමයේ නිර්දේශයක් වූ CAT Certificate සහ Log Book ක්‍රම අඩු අධ්‍යාපනයක් සහිත අප ධීවරයින් සමඟ ඉතා දුෂ්කර වුවද එය දැනටමත් සියයට සියයක්ම ක්‍රියාත්මක වෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    CAT Certificate යනු මාළු අල්ලා ගත් මුහුදු ප්‍රදේශය පිළිබඳ විස්තරයකි. Log Book යනු මාළු අල්ලා ගත් ප්‍රදේශය හා මුහුදු සීමා, ඒ සඳහා යොදා ගනු ලැබූ දැල් ආම්පන්න, අල්ලා ගනු ලැබූ මාළු ප්‍රමාණය මෙට්රික් ටොන් හෝ කිලෝ ග්‍රෑම් වශයෙන්, නැව් ප්‍රධානියා (Skipper) ලබා දෙන සහතිකය පිළිබඳ විස්තරයකි.

     

    යුරෝපා සංගමයේ තවත් එක් නිර්දේශයක් වූ ධීවර යාත්‍රා සඳහා පුහුණු නිරීක්ෂකයන් යොදා ගැනීම දැනටමත් අමාත්‍යංශය විසින් අපේක්ෂා කළ පමණටත් වඩා හොඳින් ඉටු කර ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඒ අනුව අප සතු මීටර් 24ට ඉහළ ධීවර යාත්‍රා 10 සඳහා පුහුණු නිරීක්ෂකයන් දෙදෙනා බැගින් ද මීටර් 15-24 අතර ධීවර යාත්‍රා 35 සඳහා පුහුණු නිරීක්ෂකයන් 20ක් ද සිටින අතර ඔවුන් වෙනුවෙන් යාත්‍රා අයිතිකරුවන් විශාල පිරිවැයක් දැරිය යුතු බවත් ඔහු පැවසීය.

     

    SDF

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya