අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත් දරුවන්ගේ ආරක්ෂාවට ජනපතිගේ උපදෙසින් නිසි පියවර ගෙන තිබෙනවා

    නොවැම්බර් 04, 2014
    හල්දුම්මුල්ල, මීරියබැද්ද ප්‍රදේශයේ පසුගියදා  සිදු වූ නායයාමෙන් විපතට පත් ව දෙමාපියන් අහිමි ව අසරණ ව සිටින දරුවන් පිළිබඳ විශේෂ අවධානය යොමුකර අවශ්‍ය කඩිනම් සහන ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට ලබාදුන් උපදෙස් අනුව පසුගියදා එම ප්‍රදේශයට ගොස් අදාළ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය මෙන් ම සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වයන් පිළිබඳ සොයාබලා අවශ්‍ය පියවර ගෙන ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවස යි.
     
    ඒ අනුව එලෙස විපතට පත් දරුවන් මෙන් ම කාන්තාවන්ගේ රැකවරණය සහ සංවර්ධනය 
    වෙනුවෙන් දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද, ඒ යටතේ දෙමාපියන් නිසි භාරකරුවන් නොමැති ව අසරණ වන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ අනෙකුත් සියලු අවශ්‍යතා සොයා බලා ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීමේ පුළුල් වැපිළිවෙළක් සකස් කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය.
     
    මීරියබැද්ද සිදුවීමෙන් දෙමාපියන් එනම්,  මව සහ පියා යන දෙදෙනාම අහිමි දරුවන් විශාල පිරිසක් සිටින බවට මීට පෙර තොරතුරු වාර්තා වුවද මේ වන විට එවැනි දරුවන් තිදෙනෙක් පමණක් සිටින බවත්, එයින් එක් පිරිමි දරුවෙක් කොස්ලන්ද සහන කදවුරේ ද, එක ම පවුලකට අයත් තවත් ගැහැනු සහ පිරිමි දරුවන් දෙදෙනෙක් පූනාගල සහන කඳවුරේ සිටින බවටත් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා කරුණු අනාවරණය කළේ ය.
     
    කෙසේ වුව ද මෙම සිදුවීමට මුහුණපෑම නිසා ආරක්ෂාව, රැකවරණය අවශ්‍ය සියලු දරුවන් පිළිබඳ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හරහා විධිමත් ආරක්ෂණ සැලැස්මක් ක්‍රියාවට නංවා එක් එක් දරුවන්ගේ අවශ්‍යතා අනුව ඔවුන්ට අධ්‍යාපන කටයුතු ඇතුළු ව ඔවන්ගේ අනාගතය ශක්තිමත් කිරීමේ දිගුකාලීන වැඩසටහනක් ආරම්භ කිරීමට ද ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.
     
    එසේ ම මෙම අවාසනාවන්ත සිදුවීමෙන් සැමියා හෝ දරුවන් අහිමි ව අසරණව සිටින කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජයෙන් ලබාදිය හැකි උපරිම සහන ඉදිරි වසර 5ක් පමණ යනතුරු ලබාදීමටත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මේ වන විටත් පියවර ගෙන ඇති බව අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසී ය.
     
    දරුවන්ගේ හා කාන්තාවන්ගේ අනාගතය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත එම දිගුකාලීන වැඩපිළිවෙළ යටතේ විශේෂයෙන් දැනට බිඳවැටී ඇති ඔවුන්ගේ මනස යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය උපදේශන සේවාවන් ද නොකඩවා ක්‍රියාත්මක කිරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශ උපදේශන අංශය යොමුකර තිබේ.
     
    විපතට පත් දරුවන්  වෙනුවෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ළදරු කිරිපිටි, ඇඳුම්, වියළි ආහාර, සනීපාරක්ෂක උපකරණ, කතන්දර පොත්, සෙල්ලම් බඩු සහ කාන්තාවන් සඳහා අවශ්‍ය උපකරණ ඇතුළු රුපියල් ලක්ෂ 07ක් පමණ වටිනා භාණ්ඩ මෙදින ලබාදෙන ලදි.
     
    එමෙන් ම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් ඇති මෙම අමාත්‍යංශයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ළමා ලේකම් කාර්යාලය දරුවන්ගේ අවශ්‍යතා සොයාබලා ඉටුකිරීමටත්, ජාතික කාන්තා කමිටුව සහ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය මෙලෙස අසරණභාවයට පත් කාන්තාවන්ගේ කටයුතු සොයාබලා ඉටුකරදීමටත් නිරන්තරයෙන් බැඳී සිටින බවත් අමාත්‍ය  තිස්ස කරල්ලියද්ද මහතා පැවසී ය.
     
    අමාත්‍යවරයා ඇතුළු මෙම අමාත්‍යංශයේ නිලධාරීන් විපතට පත් දරුවන් සහ කාන්තාවන් ඇතුළු ජනතාවගේ සුවඳුක් විමසා බැලූ අතර මීරියබැද්ද ප්‍රදේශයේ සහන කටයුතුවල මහත් කැපවීමෙන් නිරතව සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා  සිය ප්‍රශංසාව ද ඵල කළේ ය.
     
    මෙම සහන කටයුතුවල නිරතව සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට සිද්ධිය නැරඹීමට පැමිණෙන පිරිස්වලින් මහත් බාධාවක් සිදුවන බැවින් නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති අනෝමා දිසානායක, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩබලන බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් එස්. ජයසුන්දර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya