පිළිකණුවලට ගාල් කොට තැබූ කොළඹ නගරයේ ජනතාවගේ ජන ජීවිතය, ඉන් මුදාගෙන ඔවුන් නඟාසිටුවනු ලැබුවේත්, ලස්සන කොළඹක් නිර්මාණය කරනු ලබන්නෙත් විරුද්ධ පක්ෂය විසින් ම හඳුන්වනු ලැබූ “ගමේ බයියන් ” මිස නගරයේ “ටොයියන් ”නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 4000ක වියදමින් ඉදිකෙරුණු නිවාස 1148කින් සමන්විත කොළඹ 8, බොරැල්ල “සිරිසර උයන” සහ “මෙත්සර උයන” යන නව මහල් නිවාස සංකීර්ණයන් ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වෙමිනි.
මෙම උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම නිවාස සංකීර්ණයේ දී පැවැත්විණ.
ළඟදීම ජනාධිපතිවරණයක් එනවා, නමුත් තවමත් විරුද්ධ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද? කියලා කවුරුවත්ම දන්නේ නැහැ. රනිල් ද, සජිත් ද, කරූ ද, එහෙම නැත්නම් සෝභිත හාමුදුරුවෝද කියලා කියන්න අප දන්නේ නැහැ. මෙවර අයවැය ඉදිරිපත් කිරීමට පෙර නම් විරුද්ධ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා රනිල් මහත්තයා කියන පෙනුම එතුමාට තිබුණා. නමුත් දැන්නම් එතුමා ජනාධිපති සටනට එන පාටක් පෙනෙන්න නැහැ. විපක්ෂ නායකතුමා එන්නේ නැත්නම් කරූ එයිද? සජිත් එයිද කියලා කියන්න කාටද පුළුවන්. කොහේද මේ පොදු අපේක්ෂකයා ඉන්නේ. මේ අපේක්ෂකයා අද්භූත අපේක්ෂකයෙක් විදිහටයි අපිට පේන්නේ. එක වෙලාවකට කියනවා ඒ “පොදු අපේක්ෂක භූතයා ” රනිල් මහත්තයා වගේ කියලා. තව වෙලාවකට සජිත් වගේලු. කරූ මහත්තයා වගේලු. තවත් වෙලාවක සෝභිත හාමුදුරුවෝ වගෙත් කියලා කියනවා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිතුමාට තරග කරන්න සිදු වෙන්නේ විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයෙකු සමඟ නො ව විරුද්ධ පක්ෂයේ පොදු අවතාරයක් සමඟ බව පැහැදිලියි.
ජනාධිපති මහින්ද රාජපක්ෂයන් 2005 දී බලය අරගත්තාට පසුව තමයි, කරන්න බැහැයි කියපු යුද්ධය ඉවර කරලා, රට සංවර්ධනය කරා රැගෙන යෑමට මේ ගමේ බයියන්ට හැකි වුණේ කියලා ඒ ටොයියෝ තේරුම් ගත යුතු වෙනවා. ලන්ඩන්වල උපාධි ගත්ත, යුරෝපා සංස්කෘතිය මත සිටිමින් කටයුතු කරන නගරයේ “ටොයියන්ට ” වන්නි කැලේ හිටපු කොටියව පරද්දන්න ශක්තිය තිබුණෙත් නැහැ. නමුත් අපේකම හඳුනන “ ගමේ බයියන්ට ” ඒ ශක්තිය තිබුණා කියලා ඔබට පැහැදිලියි.
ඉතිහාසයේ කවරදාකවත් කොළඹ නගරයේ අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාවට එකවර එක්දහස් ගණනක නිවාස තොගයක් ලබා දුන් දිනයක් නැහැ. නමුත් ඒ ඓතිහාසික දිනය අද උදාවෙලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් මේ ජනතාව වෙනුවෙන් නිවාස ඒකක 1148කින් සමන්විත නව මහල නිවාස සංකීර්ණයන් දෙකක්, අද විවෘත කරනු ලැබුවා.
පීටර් කෙනමන් මහතා නිවාස ඇමතිවරයාව සිටියදී රටේ නිවාස හැදුවා. ප්‍රේමදාස මහත්තයාගේ කාලයේදිත් ගෙවල් හැදුවා. උළුවහු හැදුවා. දොරවල් හැදුවා. ජනෙලුත් හැදුවා. ඒවාත් ගෙවල් කියලා සටහන් වුණා. නමුත් ඉතිහාසයේ කවරදාකවත් වර්තමානයේ දී මෙන් මෙවැනි සාර්ථක නිවාසකරණයක් රටේ සිදු වුණේ නැහැ.” යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ. ඊට අමතරව නාගරික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ගීතාංජන ගුණවර්ධන, ෆයිසර් මුස්තාෆා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, ආර්. දුමින්ද සිල්වා , රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු, රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක අංශ ප්‍රධානීහු, ප්‍රතිලාභීහු සහ ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
DB