මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීම තරයේ හෙළා දකිනවා”

    ඔක්තෝබර් 20, 2014

    - සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි

     

    යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීම තරයේ හෙළා දකින බව සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියෝ ප්‍රකාශ කළහ.


    යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීම පිළිබඳව අන්තර් ආගමික නායකයන්ගේ මතය පිළිබඳ අද (20) කොළඹ 07 මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව පැවසූහ.

     

    ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානය, ධම්ම රශ්මි පදනම, ශ්‍රී රෝහණ භික්ෂු පෙරමුණ, ජාත්‍යන්තර හින්දු සංගමය යනාදී ආගමික සංවිධානවල නායකයන් එක් ව මෙම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

     

    අපේ රටට එල්ල වී ඇති බරපතළ තර්ජනයක් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මූලික අරමුණ පෙරදැරි ව සර්ව ආගමික නායකයෝ එක් ව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කළ බව මාධ්‍ය අමතා සබරගමුව කුඹුරුගමුවේ වජිර නාහිමියෝ ප්‍රකාශ කළහ.

     

    මේ දිනවල වැඩි කතාබහට ලක්ව ඇති යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීම පිළිබඳව මෙම මාධ්‍ය සාකච්ඡාවේදී සර්ව ආගමික මතය එක් එක් ආගමික නායකයෝ ප්‍රකාශ කළහ.

     

    දෙමළ ඩයස්පෝරාවේ බලපෑම පදනම් කරගෙන යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කරන්නට ඇතැයි විශ්වාස කරන බව වජිර නාහිමියෝ ප්‍රකාශ කළහ.


    මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොවෙයි මුළු ලෝකයට ම තර්ජනයක් බවත් එක් පැත්තකින් ලෝක බලවතුන් ත්‍රස්තවාදය දුරු කරන්න විවිධ ක්‍රමවේද අනුගමනය කරන අතර තව පැත්තකින් ලෝකයේ පැවති ප්‍රබලතම ත්‍රස්තවාදී සංවිධානයක් යැයි නම් ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කිරීම එකිනෙකට පරස්පර විරෝධී තත්ත්වයක් පිළිබිඹු කරන බව වජිර නාහිමියෝ පෙන්වා දුන්හ.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් දශක 3ක් පුරා ශ්‍රී ලංකාවට විනාශය ළඟා කර දුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උවදුර මේ රටින් බැහැර කළත් ඒ ත්‍රස්තවාදී අදහස් දරන ජන කොටස් රටින් බැහැර ගොස් විවිධ සංවිධාන ගොඩනගාගෙන ජාත්‍යන්තරයටත් අප රටේ අන්තර් ක්‍රියාකාරීත්වයත් බලපෑම් එල්ල කරමින් සාමය විනාශය කිරීමටත් නැවත රට තුළ ත්‍රස්තවාදය ගොඩ නැඟීමටත් කුමන්ත්‍රණය කරමින් සිටින බව අපට රහසක් නොවන බව වජිර නාහිමියෝ ප්‍රකාශ කළහ. මෙම තීරණය හේතුවෙන් එවන් සංවිධාන නැවත රැස් වී, සාකච්ඡා පවත්වා එකී රටවල මුදල් එකතුකිරීම පිරිස් බලය රැස් කිරීම මඟින් නැවත ත්‍රස්තවාදය පැතිරීමට ඉඩකඩ ඇති බව නාහිමියෝ මෙසේ පැහැදිලි කළහ.


    “මෙම තීරණය අප රටේ මැතිවරණයකට සූදානම් වන මෙම කාලපරිච්ඡේදයේදී බලපෑමක් ඇති කිරීමට හේතුවක් විය හැකිය. උතුරේ සාමය උදා කරලා තිබුණත් පළාත් සභා පිහිටුවා අයිතිවාසිකම් ලබා දී තිබුණත් අදත් එහි ක්‍රියාත්මක වෙන්නෙ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මතවාද කියන කරුණ එහි දේශපාලන සංවිධාන ක්‍රියාකරන අයුරින් පෙනී යනවා.  ඒ ප්‍රදේශයේ ඇති කරන්නට උත්සහ කරන සංවර්ධන ක්‍රියාවලීන් අත්හිටුවන්නට විවිධ කුමන්ත්‍රණ ඇති කරමින් සිටින්නෙ. ඉන් ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම් ලබා දෙන්නට රජයෙන් දෙන මුදල් ප්‍රයෝජනයට නොගෙන තවත් ජනතාවට දුක් විඳින්න සලස්වන්න‍ට ඩයස්පෝරාවේ මත අනුගමනය කරන මහ ඇමති තුමා ඇතුළු කණ්ඩායම උතුරේ සංවර්ධනයට බාධා කරමින් සිටිනවා. “


    “ මේ අවස්ථාවේ ජනාධිපතිවරණයක් අවශ්‍යද නැද්ද යන්න ප්‍රශ්නයක් නොවන බවත් විධායක ජනාධිපති ක්‍රමය ගැන මත බේද පළ නොකර එම විධායක ජනාධිපති ක්‍රමය තවතවත් සහතික කිරීම කළ යුතුයි. මන්ද එම විධායක ජනාධිපති ක්‍රමය නොවුණා නම් අප රට මුහුණ දුන් ත්‍රස්තවාදය අවසන් කරන්නට හැකි වේද යන්න සිතා බලා කටයුතු කළ යුතුයි. ඉදිරියේදී ද ජාත්‍යන්තර අභියෝග ජයගත හැක්කේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් වැනි නායකයෙක් බිහි වූවොත් පමණි. ‍යුද්ධයෙන් පසු වසර කිහිපයක් තුළ ඇති කරන ලද රටේ මෙම සංවර්ධනය තව වසර කිහිපයක් ඉදිරියට ගෙන යා හැකි නම් අප රට ආසියාවේ ආශ්චර්යය බවට පත් වෙනවා නිසැකයි. “


    මෙරට සමහර දේශපාලන නායකයෝ එංගලන්තයට මෙරට සුළු ජාතිකයින්ගේ ඡන්ද දිනා ගැනීමේ අරමුණින් ගොස් සිදු කරන කුමන්ත්‍රණ පිළිබඳ සැක පහළ වෙන බවත් මෙම කුමන්ත්‍රණ පිළිගෙන රට නැවතත් අඳුරු යුගයක් කරා ගෙන යනවාද නැතහොත් මේ මැතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය පිළිගෙන ක්‍රියාකිරීමෙන් රට ආලෝකයක් කරා ගෙන යනවාද යන්න ජනතාව විසින් තීරණය කළ යුතු බවත් මෙහිදී නාහිමියෝ පැවසුවෝය.


    යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීම පිළිබඳ තෙරයේ හෙළා දකින බවත් මේ පිළිබඳ ජනතාව අවධියෙන් ක්‍රියා කළ යුතු බවත් වජිර නාහිමියෝ අවධාරණය කළහ.


    මෙම මාධ්‍ය සාකච්ඡාවට ධම්ම රශ්මි පදනමේ පූජ්‍ය ගලගම ධම්මරන්සි නාහිමි, ගරු සරත් හෙට්ටි ආරච්චි පියතුමා, ජාත්‍යන්තර හින්දු සංගමයේ ලේකම් පූජ්‍ය බ්‍රහ්ම ශ්‍රී රාමචන්ද්‍ර කුරුක්කල් බාබු ශර්මා සහ ඉස්ලාමීය ආගමික නායක හසන් මවුලානා මවුලවි තුමා සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya