මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට ගිනි තියන්න බලාගෙන ඉන්න දේශපාලන බලවේගවලට අප සහය දිය යුතු නැහැ

    ඔක්තෝබර් 20, 2014

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන්ගේ පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ඔහුව ජයග්‍රහණය කරවා ඉන්පසු උතුරේ තිබෙන බුදු පිළිම ගලවා මාසයක් ඇතුළත හමුදාව ආපසු එවන බව දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන බවත් එලෙස උතුරේ බුදු පිළිම ගලවා දැමුවහොත් මේ රට ආයෙත් ගිනිගන්නේ නැතිදැයි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරයි.


    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මට්ටක්කුලිය, කදිරානවත්ත, ජන සෙවණ එකමුතු ප්‍රජා ශාලාව පූර්ණ ප්‍රතිසංස්කරණයෙන් පසු ජනතා අයිතියට පත්කිරීම සඳහා පැවති උත්සවයේ ප්‍රධාන අරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි. මෙම උත්සවය පසුගියදා මට්ටක්කුලිය කදිරානවත්තේදී පැවැත්විණි.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “කොළඹ තියෙන හින්දු කොවිල්වලට අපි, අපට දෙන්න පුළුවන් උපරිම උදව් දෙනවා. මොරටුව සොයිසාපුර හින්දු කෝවිලට ඔප්පුව දුන්නෙ මම. ඒකෙ භාරකාර මණ්ඩලයේ ආරවුලක් වෙලා ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. නිවාස අධිකාරියේ ඉඩම්වල හින්දු කෝවිල් කීයක් නම් තියෙනවද ? පසුගියදා අපි අලුත්කඩේදි තවත් මුස්ලිම් දේවස්ථානයක් සඳහා ඔප්පුවක් ලබා දුන්නා. අපි මෙහෙ පන්සල්, කෝවිල් විතරක් නෙමෙයි සියලු ම ආගමික දේවස්ථාන රකිනවා. ගලවන්න කතා කරන්නේ නැහැ. අපි නිකමට හිතමු මොනයම් හෝ වෙනසක් වෙලා උතුරෙන් බුදු පිළිම ගලවල මෙහෙ එව්වොත් මෙහෙ නිකන් තියෙයිද ? මේ රට ගිනිගන්නෙ නැත්ද ? ඒ නිසා මේ රට ගිනි තියන්න බලාගෙන ඉන්න දේශපාලන බලවේගවලට අවශ්‍ය කරන දේශපාලන තීරණ ගන්න අප සහය දිය යුතු නැහැ.

    කොටි සංවිධානය පරාජයට පත් කළාට දෙමළ ජනතාව පරාජයට පත් කරන්න මේ රටේ කාටවත් අවශ්‍ය නැහැ. පරාජයට පත් කරන්න අවශ්‍ය වුණේ අවි බලය. එහෙත් ඇතැම් පිරිස් බලනවා දෙමළ ජනතාව තුළ හතුරු මානසිකත්වයක් නිර්මාණය කරන්න. මුස්ලිම් ජනතාව තුළත් එහෙමයි. ඇතැම් මුස්ලිම් දේශපාලඥයන් කියනවා මේ ආණ්ඩුව මුස්ලිම් ජනතාවට හතුරු ආණ්ඩුවක්ලු. ඒත් ඒ හතුරු ආණ්ඩුව මුස්ලිම් ජනතාවට නිවාස දෙනවා, ඔවුන්ගේ ප්‍රජාශාලාව හදලා දෙනවා. එහෙම බලනකොට මුකුත් නොලැබෙන මිතුරුකමට වඩා මෙහෙම හතුරු කමක් නම් තිබුණත් කමක් නෑ කියලා හිතෙනවා.

    මේ කොළඹ නගරය තමයි සමඟියේ හොඳම සංකේතය. උඩින් කොටි බෝම්බ හෙළද්දි ජනවර්ග එකමුතුව ජීවත්වුණු තැන. ඒ නිසා අපි කියනවා ලෝකෙ ඉන්න සුදු මහත්තුරුන්ට සිංහල, දෙමළ, මුස්ලිම් සමඟිය බලන්න උතුරට යන්න ඕන නෑ. කොළඹ තියෙන ගමකට එන්න කියලා. ඒ නිසා ජන අනන්‍යතා හොයන්නෙ නැති ව ගියවර කාටද ඡන්දය ප්‍රකාශ කළේ කියලා හොයන්නෙ නැතු ව කොළඹ අද විශාල පරිවර්තනයක් වෙනවා. ඉතිහාසයේ කවදාවත් සිදු නොවුණු ආකාරයේ සංවර්ධනයක් අද මේ කොළඹ නගරයේ වෙනවා.

    උතුරේ දෙමළ ධීවර ජනතාව පදිංචි වී සිටින ගුරු නගර් මහල් නිවාස යෝජනාක්‍රමය විවෘත කළා. ඒ නිවාස යොජනාක්‍රමය යුද්ධය පැවති කාලයේදී කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් විනාශ වුණා. ඒකෙ නිවාස 162ක් තියෙනවා. ඒ නිවාස යෝජනාක්‍රමය අපි සම්පූර්ණයෙන් පිළිසකර කරලා අලුත් මහල් නිවාස යෝජනා ක්‍රමයක තත්ත්වයට ගෙනාවා. ඒක විවෘත කරන දිනයේදී අපි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතාටත් ආරාධනයක් කළා. ඵලකයේ එතුමාගෙ නමත් සඳහන් කළා. ඒත් එතුමා ඒ සඳහා සහභාගි වුණේ නැහැ. ඒ අය කැමති නෑ මේවා වෙනවට. ඒ අයට ඕන දෙමළ ජනතාවට සලකන්නෙ නෑ කියලා දිගට ම නැති බණේ කියාගෙන ඉන්න. ඒ ගොල්ලො රෑට නින්දට යන්නෙත් උදේට නැගිටින්නෙත් දෙමළ ජනතාවට සලකන්නෙ නෑ කියලා නැති බණේ කියාගෙන. රජයෙන් තීරණය කරලා තියෙනවා ඉරණමඩු වැවේ බැම්ම තව උස්සලා අතිරේක ජල ධාරිතාවක් ඒ වැවට එකතු කරලා ඒ අතිරේක ජල ධාරිතාවෙන් කොටසක් කිලිනොච්චියේ ජනතාවගේ ගොවිතැන් සඳහාත් දීලා ඉතුරු අතිරේක ජලය බීම සඳහා යාපනයේ ජනතාවට ලබා දීමට. කිලිනොච්චියේ ඉන්න දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීතුමා කියනවා මෙන්න කිලිනොච්චියේ ජනතාවට ගොවිතැන් කරන්න තියෙන වතුර ටික රජය යාපනයට ගෙන යනවා කියලා. එතකොට යාපනයේ ඉන්න දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීතුමා කියන්නෙ මොකක්ද ? සල්ලි ඔක්කොම ලැබිලා තියෙද්දීත් ආණ්ඩුවට ඉරණමඩු වැවේ වතුර ටික යාපනයට අරගෙන එන්න වුවමනාවක් නැහැ කියලා. කිලිනොච්චියේ ඉන්න දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීතුමා එකක් කියනවා, යාපනයේ මන්ත්‍රීතුමා තව එකක් කියනවා. මොකක්ද ඔවුන් මේ කරන්නෙ? වැඩේ කඩාකප්පල් කරන්නෙත් ඔවුන්මයි, වැඩේ කඩාකප්පල් කරලා ඊළඟට චෝදනා එල්ල කරන්නෙත් ඔවුන්මයි" යනුවෙන් පැවසීය.

    අමාත්‍යවරයා යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී අදහස් දැක්වීය. පසුගියදා යුරෝපා සංගමය නඩු තීන්දුවක් අරගෙන කොටි තහනම ඉවත් කරනු ලැබුවා. මේ ආකාරයෙන් යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කරන්නෙ ඇයි? ශ්‍රී ලංකා රජයේ විදේශ අමාත්‍යාංශය ඒ යුරෝපා සංගමයේ රටවල්වලට අයිති තානාපතිවරු කැඳවලා ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ අකමැත්ත, අප්‍රසාදය පළ කළා. නමුත් ඒකෙන් පේන්නෙ මොකක්ද අන්තර්ජාතික බලවතුන්ට ඕනෑ කොටි තහනම ඉවත් කිරීම තුළින් ආයෙත් කොටි ලංකාව ඇතුළෙන් හොල්මන් කරන කාලයක් නිර්මාණය කරන්නයි. ඉන් පීඩාවට පත් වෙන්නෙ කව්ද? පළමුවෙන් ම පීඩාවට පත්වෙන්නෙ දෙමළ ජනතාව. ඔවුන් කෙරේ සැක උපදවන සමාජ පරිසරයක් ඒ තුළින් නිර්මාණය වෙනවා. අද දෙමළ ජනතාවට හැඳුනුම්පත් අවශ්‍ය නැහැ. පොලිසියේ ලියාපදිංචි වෙන්නයි කියන්නෙ නැහැ. පාරේ යනකොට දෙමළ අනන්‍යතාව පේනවා නම් විශේෂ පරීක්ෂාවෙන් බලන්නෙ නැහැ. මේක තමයි සාමකාමී වාතාවරණයක් තුළ ජනකොටස් තුනට ම ලැබුණු සහනය. ඒත් ආයෙත් ආයුධ හොල්මන් කරන පරිසරයක් නිර්මාණය වුවොත් මේ තත්ත්වය නැති වෙනවා.

    කාටද එහෙම රටක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් තියන්නේ. වේලුපිල්ලේ පිරිබාහරන්ට නිර්මාණය කිරීමට නොහැකි වූ වෙනම රාජ්‍යයක් කාටද යළි නිර්මාණය කරන්න පුළුවන්. දිනාගන්න බැරි අරමුණු වෙනුවෙන් ඊනියා සටන් ඇති කරලා ඒ තුළින් බැටකන්නෙ මේ රටේ අහිංසක සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන්. ඒ නිසා අපි සියලු දෙනාට ම වගකීමක් තියෙනවා ඒ තමයි අපිට මේ ලැබුණු සාමය කාටවත් හොල්ලන්න නොදී ආරක්ෂාකර ගැනීමට.

    යුද්ධ කරලා රණ විරුවන් අපට දුන් කාරණා 2ක් තියෙනවා. ඒ තමයි සාමයයි, ස්ථාවරභාවයයි. සාමයයි, ස්ථාවරභාවයයි දෙකම තිබුණොත් තමයි රටක් ඉස්සරහට යන්නෙ. බලන්න චීනයට සාමයයි ස්ථාවරභාවයයි දෙක ම තියෙනවා. ඔවුන් ඉස්සරහට යනවා. අප්‍රිකානු කලාපයේ බොහෝ රටවල්වලට සාමයයි, ස්ථාවරභාවයයි නැහැ. දැන් විපක්ෂය කට ඇරියොත් කියන්නෙ ආණ්ඩුව හොරකම් කරනවා කියලා. ආණ්ඩුව එහෙම හොරකම් කරනවා නම් අපි විරුද්ධ පක්ෂවල ඉන්න කාලයේ ඒ හොරකම් කරුණු සහිත ව, ලිපි ලේඛන එක්ක ගෙනාවා, තොරතුරු හරියට අරගෙන ඇවිල්ලා කිව්වා. ඒත් මේ ගොල්ලො ඔහේ චෝදනා එල්ල කරනවා. විපක්ෂයේ අයට මේ ආණ්ඩුවට වෙන කියන්න දෙයක් නැහැ. මේ ආණ්ඩුව රට විකුණන ආණ්ඩුවක්, රට බෙදන ආණ්ඩුවක්, රට බිලිදෙන ආණ්ඩුවක් කියන්න බැහැ. ඒ නිසා මොන මොන ආකාරයේ හරි බොරු චෝදනා මේ ආණ්ඩුවට චෝදනා එල්ල කරන්න ඔවුන් බලනවා.

    ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයාව දිනවන්න එක්සත් ජාතික පක්ෂයෙන් ජී ටුවෙන්ටි කියලා විසිදෙනෙක් නම් කරලා තියෙනවා. ඒකෙ සජිත් ප්‍රේමදාස මහත්තයාගෙ ඡායාරූපයක් තිබුණා. මට නම් ඒක දැක්ක ගමන් හිතුනේ ගොන් ටුවෙන්ටි කියලා. මේක ගොන් ටුවෙන්ටි වෙන්නෙ මොකද ? මේ විසිදෙනා නියත පරාජයකට තමයි මේ කරගහන්න හදන්නෙ. මේ නළලේ කොටලා තියෙන පරාජයක්නෙ. ගොන් නැත්නම් ඔය වගේ එකකට කර ගහයිද? මම හිතන්නෙ ජී. ෆෝටි විතර කරගන්න ගිහිල්ලා බැරිවෙලා යන්තන් 20ක් අල්ලගෙන තියෙනවා. මේ ජී ටුවෙන්ටි හදලා මොකක්ද කරන්න ලෑස්ති වෙන්නෙ. වෙනින් දෙයක් නොවෙයි නමක් දානකොට මොකක් හරි ලංකාවට ගැළපෙන නමක් දාන්න ඕන. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපි නම් නමක් දානකොට මෙහෙයුම් කමිටුව, මැතිවරණ මෙහෙයුම් කමිටුව වගේ අපේ රටට ඔබින විදියට නම් දානවා. මේකෙ නම දාන්නෙත් යුරෝපා පන්නෙට ජී. ටුවෙන්ටි කියලා. ඒකෙන් ම පේනවා තව ම මනස හරි ගිහිල්ලා නැහැ. තාම තියෙන්නේ ලන්සි පැපොල් මනසක්" යනුවෙන්  ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya