මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැමි දිරිය සංවිධානය තවදුරටත් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරනවා

    ඔක්තෝබර් 15, 2014
    ප්‍රජා සංවිධාන හා ජීවන මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (ගැමි දිරිය) තවදුරටත් සංවර්ධනය කිරීමට රජය කඩිනමින් පියවර ගන්නා බවද රජය විසින් ග්‍රාමීය සංවිධාන දුර්වල කිරීම සඳහා රජය කටයුතු කරන බවට ගෙනයන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 
     
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ගැමි දිරිය ව්‍යාපෘතියේ ග්‍රාමීය සංවිධානවල දිස්ත්‍රික්ක නියෝජිතයන් වෙනුවෙන් බත්තරමුල්ල අපේ ගම සංකීර්ණයේ දී පසුගියදා පැවති සුහද හමුවක් අමතමිනි. මෙම හමුවට කුරුණෑගල, බදුල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් ගැමි දිරිය නියෝජිතයන් 2,000කට ආසන්න පිරිසක් එක්වී සිටියහ.
     
    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.“ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මටත් මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමාටත්, දෙන ලද උපදෙස් අනුව මෙම හමුව පැවැත්වෙනවා. ජනාධිපතිතුමා වගේ ම මමත් දන්නවා ඔ‍බේ සංවිධානවල ඉන්න නිලධාරින්ට තිබෙන විවිධ ගැට‍ලු. ඒ වගේම ඒවා ප්‍රකාශ කරන්න අවස්ථාවක් අවශ්‍යයි. එම නිසා මෙම හමුව ඒ සඳහා අවස්ථාවක් කර ගනිමු. මේ සාර්ථකව ගෙන යන වැඩපිළිවෙළ අඩපණ කරන්න, ජනාධිපතිතුමා වගේ ම රජය අපහසුතාවට පත් කරන්න උත්සාහ කරන කඩාකප්පල්කාරී පිරිසක් ඉන්නවා. ඒ නිසා අපි ඔබ ව කැදෙව්වේ ඒ පිළිබඳ රජයේ ස්ථාවරය පැහැදිලි කරන්නයි.
     
    මා දැන් සුදානම් වන්නේ පළමු ව ඔබ අතර මොනවා හරි කුතුහලයක් තිබෙනවා නම් ඔබේ මේ ග්‍රාමීය සංවිධාන විසුරුවා හරිනවා. නැත්නම් වෙන එකකට අනුයුක්ත කරනවා. නැත්නම් අඩපණ කරනවා කියලා හරි, අපි පැහැදිලි ව කියනවා. ඔබේ ග්‍රාමීය සංවිධාන මොන ආකාරයකින්වත් විසුරුවන්නේ නෑ. අඩපණ කරන්නෙත් නෑ අනිත් ඔබේ සංවිධාන සියල්ලක් ම මේ ආකාරයකට ම පවත්වාගෙන යනවා වගේ ම තවදුරටත් වඩාත් ශක්තිමත් කරනවා කියලා. 
     
    ගැමි දිරිය සංවිධානය හැදුවේ අපි මේ වැඩපිළිවෙළ හඳුන්වලා දීලා ග්‍රාමීය සංවිධාන හදලා, මුදල් දීලා ලෝක බැංකුවෙන් ණයක් අරගෙන, ඒකත් ආපසු මෙය ආරම්භ කරපු විදිහට නෙමෙයි අප මෙහි ව්‍යුහය වෙනස් කළා. හැම දිස්ත්‍රික්කයකට ම මෙය පැතිරුවා. ප්‍රජාවල බලය දෙන ව්‍යුහය සකස් කළේ ‍වෙන කවුරුවත් නෙමෙයි  ජනාධිපතිතුමාගේ අදහස් අනුව මම පෞද්ගලිකව මැදිහත් වෙලා ඔබව ශක්තිමත් කරන්න හදාපු සංවිධානයක්. මෙම ගැමි දිරිය සංවිධාන අපි විසුරුවන්නේ නෑ අඩපණ වෙන්න දෙන්නේ නෑ. තව තවත් ග්‍රාමීය ජනතාවට සේවය කරන ශක්තිමත් සංවිධානයක් හැටියට ඔසවලා තබන බවට නැවත රජය තහවුරු කරනවා. 
     
    ඒ විතරක් නෙමෙයි, මේ අවුරුදු අට වෙනකොට ග්‍රාමිය සංවර්ධනයට අපේ අමාත්‍යංශයෙන්, විතරක් ගම්වලට ඇවිත් තියෙනවා. එක් ගමකට එක් වැඩක්, ගම නැගුම, පුර නැගුම, පළාත් නැගුම දිවි නැගුම, ඒ වගේ ම පාසල් සංවර්ධනයට වාරිමාර්ග, පුරන් කුඹුරු අස්වැද්දීමට මේ වගේ නොයෙක් විදියට රුපියල් මිලියන ගණන් නෙමෙයි බිලියන ගණන් ඔබේ ගම්වලට ඇවිල්ලා තියෙනවා. අපි තීන්දුවක් අරගත්තා මෙම ව්‍යාපෘති යෝජනා ක්‍රමය අවසන් වනකොට ම ඔබලා කැමති නම්, අපේ අමාත්‍යාංශය, දිවි නැගුම දෙපාර්තමේන්තුව එක්ක එකතුවෙන්න අපි අනිවාර්යයෙන් ම ඔබේ සංවිධානයට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මුදල්, ලබන වසරේ සිට ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේදි සඳහන් කරනවා. 
     
    ඔබේ ගමේ සංව‍ර්ධනයට ඔබේ යටිතල පහසුකම් සංව‍ර්ධනය කරන්න අනෙක් සංවිධානවලට මුදල් දෙනවා වගේ ම අපිට හැකියාව තිබෙනවා ඔබ සංවිධානවලටත් මුදල් ලබා දෙන්න. මේ ලැබුණ මුදලට වඩා මුදලක්, ව්‍යාපෘතියට ලැබුණ මුදලට වඩා මුදලක් අපේ අමාත්‍යාංශයෙන් අපි ලබා දීලා තිබෙනවා. අපි මේ ව්‍යාපෘතිය පටන් ගන්නා විට මේ රටේ ආර්ථිකය ඉතා ම දුර්වල මට්ටමක තිබුණේ, සුනාමිය ඇවිල්ලා මුහුදු කරය විනාශ කළා. ත්‍රස්තවාදය නිසා  මේ රටේ ආර්ථිකය කඩා වැටිලා, අපිට බැරි තත්ත්වයක් තිබුණේ.  එදා හැම දේකටම බෑ කියන තත්ත්වයක් තිබුණේ. අපිට යුද්ධ කරන්න බෑ, ත්‍රස්තවාදය මර්ධනය කරන්න බෑ, විදුලිය දෙන්න බෑ. පාර හදාගන්න බෑ. ගොඩනැගිල්ලක් පාසලට දෙන්න බෑ. ගමේ බෝක්කුව හදාගන්න බෑ කියලා  හැම දෙයක්ම බෑ කියලා තිබුණේ. එහෙම යුගයක තමයි ජනාධිපතිතුමාව ජනාධිපති ලෙස පත් කළේ. එදා බෑ කියපු ත්‍රස්තවාදය ජනාධිපතිතුමා පරාජය කළා. ප්‍රභාකරන්ට බෑ කියපු සාමය, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සාමය උදා කළා. එතනින් නතර වුණේ නෑ. එදා බෑ කියපු, සල්ලි නෑ කියපු, පාර හදන්න විදුලිය දෙන්න සල්ලි දුන්නා. පාසල් ගොඩනැගිලි හදන්න බෑ කියපු, නෑ කියපු  සල්ලි වෙනුවට දැන් මහින්දෝදය විද්‍යාගාර හදලා දුන්නා. ඒ වගේ ම ළමා මාතෘ සායනය, සතිපොළ මේ හැම එකකටම අවශ්‍ය කියු මුදල් හැම එකට ම දීලා මේ ආර්ථිකය ශක්තිමත් කළා.
     
    තමන්ගේ ගම සංවර්ධනය කරන්න අවශ්‍ය මුදල් අපි තමුන්නාන්සේලාගේ සංවිධාන හරහා ගමට ලබා දෙනවා. හැබැයි අපි දෙන්නේ මහජන මුදල් ඒවා පරිහරණය කරන කටයුතු විනිවිදභාවයෙන් යුතු ව කරන්න ඕනෑ. ඒ වගේ ම අපි කියන්න ඕනෑ ඔබලාගේ දෙවැනි ප්‍රශ්නය මේ මුදල් සම්බන්ධ ව ක්ෂුද්‍ර මුල්‍ය බැංකුවල මුදල් අපි ගන්නවා කියන එක. අපි ඒවා ගන්නේ නෑ. අපි ඒවා ශක්තිමත් කරන  ආණ්ඩුවක්. අපි දිවි නැගුම පනතින් කළේ මේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකු ක්‍රමය මහජන ප්‍රජාවට පැවරූ බවද” අමාත්‍ය රාජපක්ෂ මහතා තවදුරටත් කියා සිටියේය.
     
    මෙහිදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, ව්‍යාපෘති අධ්‍යක්ෂක ඉංජිනේරු එස්.කේ. ලියනගේ,  අතිරේක ව්‍යාපෘති අධ්‍යක්ෂක (වැඩසටහන්) ආචාර්ය ඩබ්ලිව්.ජී. සෝමරත්න යන මහත්වරු ඇතුළු ග්‍රාමීය සංවිධාන නියෝජිතවරු කිහිපදෙනෙක් ම අදහස් දැක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya