මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය විදේශ සේවාවලට පත්කර තිබෙන්නේ සුදුසුකම් සහිත දක්ෂ නිලධාරීන්

    ඔක්තෝබර් 15, 2014
    වත්මන් ආණ්ඩුව විදේශ සේවාවලට පත්කර තිබෙන්නේ සුදුසුකම් සහිත දක්ෂ නිලධාරීන් බව විරුද්ධ පක්ෂය විසින් පිළිගෙන තිබෙන බවත් ක්‍රිස් නෝනිස් මහතා දක්ෂ නිලධාරියෙක් බව විරුද්ධ පක්ෂය ප්‍රකාශ කිරීමෙන් ඒ බව මනාව සනාථ වන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 
     
    ඒ මහතා මේ අදහස් පළ කළේ, වසර 32කට පසු රුපියල් මිලියන 13.5 ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 12, අලුත්කඩේ අබ්දුල් හමීඩ් මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. මෙම උත්සවය ඊයේ (14) දින එම නිවාස ව්‍යාපෘතියේ දී පැවැත්විණ.
     
    යුද්ධය අවසන් වූ කාලෙ ඉඳල ම මේ රටේ කකුලෙන් අදින දේවල් මිසක් වෙන දෙයක් සිදු වුණේ නැහැ. ඒ දවස්වල යුරෝපා සංගමය මේ රටේ ඇඟලුම් කර්මාන්තයට දීලා තිබුණු සහනාධාර කැපුවා. එහෙම කපලා බය කරන්න හැදුවා. එදා යුරෝපා සංගමය දීපු සහනාධාරය කැපුවහම එක්සත් ජාතික පක්ෂය කිව්වා දැන් ඉතින් ඇඟලුම් කර්මාන්තය කඩා වැටෙනවා ඉවරයි කියලා. එහෙම වුණේ නැහැ. යුරෝපා සංගමයේ ඊනියා සිහිනය නැති වුණාට මේ රටේ ඇඟලුම් කර්මාන්තය දණින් වැටුණෙ නැහැ. අපේ ඇඟලුම් නිෂ්පාදකයන්ට පුළුවන් වුණා අපේ රටේ ඇඟලුම්වල තියන ගුණාත්මක වටිනාකම නිසා යුරෝපා සංගමය මොන බාධකය දැම්මත් ඒ වෙළෙඳපොළට යන්න. 
     
    එදා යුරෝපා සංගමයේ කෝටා එක නැති වුණාට ඇඟලුම් කර්මාන්තයට වෙළෙඳපොළ අහිමි වුණේ නැහැ වගේ මෙ රටේ ධීවරයන්ට තිබෙන අවස්ථා අහිමි කරන්න මොන සංගමයකටවත් බැහැ. හැබැයි තේරුම් ගතයුතු කරුණ මෙයයි, බටහිර රටවල් මේ සේරම කරන්නේ ඔවුන්ට අවශ්‍ය වර්ගයේ ජොකියෙක් අපේ රටේ පාලනයට ගෙන එන්න.
     
    මෙහිදී අමාත්‍යවරයා රජය විසින් බඩු මිල අඩුකිරීම හා අරක්කු, සිගරට් මිල වැඩිකිරීම පිළිබඳව ද අදහස්   දැක්වීය.
     
    දකුණු ආසියාතික කලාපයේ 90% වඩා වැඩි ම විදුලිබල පරිභෝජනයක් තියෙන රට ශ්‍රී ලංකාව. තිබෙන නිවාසවලින් 81%ක් පමණ වැඩි ම ස්ථීර නිවාස ප්‍රතිශතයක් තිබෙන මේ කලාපයේ රට ශ්‍රී ලංකාව. පානීය ජල පහසුකම් වැඩි ම නිවාස ප්‍රමාණයකට ලබා දීලා තියන මේ කලාපයේ ප්‍රමුඛ රටත් ශ්‍රී ලංකාවයි. ඒ අනුව මේ කලාපයේ අනික්  රටවල් සමග සාපේක්ෂව බැලුවොත් අධ්‍යාපනය, සාක්ෂරතාව, සෞඛ්‍ය අතින්, නිවාසකරණය අතින්, ඒ වගේම අඩු ම පැල්පත්කරණය අතිනුත් ඉදිරියේ ම සිටින රට ශ්‍රී ලංකාව යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    නිවාස 73කින් හා වෙළෙඳසැල් 22කින් අබ්දුල් හමීඩ් මහල් නිවාස සංකීර්ණය සමන්විත වේ. මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන “ජන සෙවණ”ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාවට නැංවෙන “ නගමු පුරවර ” පැරණි මහල් නිවාස සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ මෙම නිවාස සංකීර්ණය පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කර ඇත. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින්  මෙහෙයවන ලදී.
     
    මෙහිදී අමාත්‍යවරයා විසින් මස්ජිද්  සහද්බින් අභිවක්කාස් මුස්ලිම් දේවස්ථානයේ හිමිකම් පත්‍රය එහි සභාපති මොහොමඩ් සවාහිර් හා එහි ලේකම් මොහොමඩ් කරීම් යන මහත්වරුන් වෙත ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය. 
     
    මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම පිළිබඳ ව මහල් නිවාසවැසියෝ අතිගරු ජනාධිපතිතුමන්ටත්, විමල් වීරවංශ අමාත්‍යතුමාටත් සිය ප්‍රණාමය පුදකර සිටියහ.
     
    නාගරික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ මහත්වරු, මහල් නිවාස වැසියන් හා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya