මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවට දැනෙන පරිදි ඉදිරියේදී බඩු මිල අඩු කරනවා

    ඔක්තෝබර් 15, 2014
    ගෑස්, තෙල් මිල අඩු කළා වගේම ඉදිරියේදී තවත් බොහෝ භාණ්ඩවල මිල ජනතාවට දැනෙන පරිදි අඩු කරන බවත් ඒවායේ මිල අඩු කරන්නේ කිසිසේත් ම නැවත ඡන්දයෙන් පසු මිල වැඩිකිරීමට නොවන බවත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය ඉරිදා අනුරාධපුර ෆ‍්‍රීමන් මාවතේ ආරම්භ කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත‍්‍රික් ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ එස්.එම්. චන්‍ද්‍රසේන අමාත්‍යවරයා, බඩු මිල අඩු කරලා ජනතාවට තවත් සහන දීලා තියෙනවා. ඒවා කිසිසේත් ම ආපසු වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඒකට හේතුව මේ වන විට ලංකාවේ දැවැන්තම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර අවසන් වීමයි. ගුවන් තොටුපොළවල්, වරයාවල්, අධිවේගී මාර්ග, ක‍්‍රීඩාංගණ ආදී දැවැන්ත ව්‍යාපෘති, කෝටි ගණනක් වැය කර අවසන් කර තිබෙනවා. විදුලිය 95%ක් දීලා තිබෙනවා. ලංකාවේ සෑම ප්‍රදේශයක ම සියලු ම මාර්ග කාපට් කර අවසන්. ග‍්‍රාමීය මාර්ග 60%කට වඩා අවසන්. පානීය ජලය ලබා දීම තවත් වසර 02ක දී පමණ ලංකාවටම ලබා දී අවසන් වෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුවට තියෙන්නේ පුද්ගල ආර්ථිකය නගා සිටුවීමයි. දැන් ජනාධිපතිතුමා පටන් අරන් තියෙන්නේ ඒ දේයි. දැන් විපක්‍ෂය දන්නවා ඉදිරියේ දී සහන ගොඩාක් ජනතාවට ලැබෙනවා කියලා. සියලු රාජ්‍ය සේවකයන්ට සහන රැසක් දැනෙන පරිදි ඉදිරි අයවැයේ දී ජනාධිපතිතුමා සිදු කරන බව දන්නා විපක්‍ෂය ඒ අය මේ දේවල් අරන් දෙන්න සටන් කරනවා වාගේ පෙන්නනවා. විපක්‍ෂය දඟලන්න ඕනේ නෑ ආණ්ඩුව ජනතාවට අවශ්‍ය දේ කරනවා.
     
    රනිල්ට බැරි නිසා ගිය සැරේ ෆොන්සේකා දාලා බේරුණා. ෆොන්සේකාට බෑ කියලා ඒකෙන්ම දැන ගත්තා. දැන් රනිල් නැවත එතෙන්ට තල්ලු වෙලා ඉන්නවා. රනිල්ට බෑ කියලා කවුරුත් දන්නවා. පොදු අපේක්‍ෂක කතාවත් දැන් දියාරුවෙලා. රනිල්ට සෝභිත හාමුදුරුවෝ කැමති නෑ. සෝභිත හාමුදුරුවන්ට රනිල් කැමති නෑ. ඒකයි අද තත්ත්වය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට අභියෝග කළ හැකි නායකයෙක් මිහිපිට නැහැ. එ.ජා.පයේ අවුරුදු 20ක තරුණයෙක් 94 සිට මේ දක්වා එ.ජා.පයේ සිටියානම් දැන් ඔහුගේ වයස අවුරුදු 40ක් වෙනවා. මේ සැරේ ස්ථිරව අපි ජයගත්තාම තවත් අවුරුදු ගානක් ඔහුට එ.ජා.පයේ ඉන්න වෙනවා. එතකොට ඔහුගේ වයස අවුරුදු 46යි. මේ ගැන එ.ජා.පයේ තේරුම් අරන් ඉන්න අයට මම කියන්නේ රට බේරාගත් නායකයා සමඟ එක්වන්න කියායි.
     
    අද අනුරාධපුරේ එ.ජා.පයක් නෑ. එ.ජා.පයේ මන්ත‍්‍රීවරු දෙන්නෙක් ඉන්නවා. ගමකට ආපු කාලයක් නෑ යැයි ද ඔහු සඳහන් කළේය.
     
    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා මෙහිදී ප්‍රකාශ කළේ, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට කිසිම කෙනෙකු නෑ කියන්නේ කොහොම ද? අපිට වාසිය දුන්නේ විපක්‍ෂයයි. අපිට තරගයක් නැහැ. පාර්ලිමේන්තුව අපේ, පළාත් සභා අටේ පළාත් පාලන ආයතන අපේ, ඒ නිසා ඉදිරි මැතිවරණයේ ජය ලබන්නේ විජයග‍්‍රාහී ලෙස යැයි ද ඔහු පැවසීය.
     
    කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා, මේ කාර්යාලය ආරම්භ කළේ ඉදිරි ජනාධිපතිවරණය සඳහායි. ඒ සඳහා අපි සියලු දෙනා එක්සත්ව සෑම භේදයක් ම අමතක කර ජනාධිපතිතුමා ජයග‍්‍රාණය කර වීමට එක් වී කටයුතු කරනවා යැයි කීය.
     
    මේ අවස්ථාවට වාර්මාර්ග හා ජල කළමනාකරන නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක, කුඩා ව්‍යාවසාය  නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, බන්ධනාගාර හා පුනරුත්ථාපන නියෝජ්‍ය අමාත්‍ය චන්‍ද්‍රසිරි මුතුකුමාරණ, උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය එච්.බී. සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ, උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රී වීරසේන ගමගේ, උතුරු මැද පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපාල, පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන සරත් ඉලංගසිංහ, එම්. හේරත් බංඩා, පී.බී. කුමාර, කල්‍යාණි කරල්ලියද්ද, කේ.පී.එස්. කුමාරසිරි, උපාලි විජේකෝන්, අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya