මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිපුණත්වය සහිත රැකියාවන් සඳහා ජාතික ශ‍්‍රමබලකායක් නිර්මාණය කරනවා

    ඔක්තෝබර් 14, 2014
    ලෝකයේ නිපුණත්වය සහිත රැකියාවන්වලට ශ‍්‍රී ලංකාවේ දරුවන් සූදානම් කිරීම සඳහා මේ වන විට වත්මන් රජය ජාතික ශ‍්‍රම බලකාය නිර්මාණය කරමින් සිටින බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (13) ත‍්‍රිකුණාමලයේ දී ප‍්‍රකාශ කළේය.
     
    ශ‍්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය කොළඹ ජාත්‍යන්තර නාවික ඉංජිනේරු විද්‍යාලය හා එක්ව උතුරු නැගෙනහිර පළාත්වල පවත්වන ලද වෘත්තීය පුහුණු පාඨමාලාවන්හි පුහුණුව ලැබූවන්ට සහතික පත‍්‍ර හා ආවුද කට්ටල ප‍්‍රදානය කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. 
     
    මෙහිදී පුහුණුව ලැබු ආධුනිකයන් 1327 දෙනෙකුට සහතිකපත‍්‍ර ද,  442 සඳහා  උපකරණ කට්ටල ද ප‍්‍රදානය කරන ලදී.
     
    මේ රටේ කාර්මික අධ්‍යාපනය ඉහළ නංවන්න වෙන කිසිඳු ආණ්ඩුවක් නොදුන් ප‍්‍රමුඛස්ථානයක් වත්මන් රජය ලබා දී තිබෙන බවත් නිදහසින් පසු කිසිඳු දේශපාලන පක්ෂයක් තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ කාර්මික අධ්‍යාපනය පිළිබඳ ව කතා කොට නොමැති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා කාර්මික අධ්‍යාපනය තුළ උපාධියක් දක්වා යන්න අවස්ථාව සැලසිලා තිබෙන බවත් පෙන්වා දුන්නේය.
     
    "අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සඳහා තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දුන්නා. ලෝකේ නිපුණත්වය සහිත රැකියාවලට ලංකාවේ දරුවන් සූදානම් කිරීමයි, අපේ වගකීම වන්නේ. මේ දරුවන්ගේ පුහුණුව සඳහා ආවුද කට්ටල ප‍්‍රදානය ආදිය පිළිබඳ ව යුනිසෙෆ් ආයතනයට මෙන් ම යුරෝපා සංගමයට ස්තූති වන්ත වෙනවා". 
     
    "පිට රටවල ශ‍්‍රී ලාංකිකයන් ලක්ෂ 20ක් පමණ සේවය කරනවා. එයින් 44%ක් ගෘහ සේවිකාවන්. පුහුණු ශ‍්‍රමිකයින් ඉන්නේ 35‍%යි. මොවුන් වාර්ෂික ව ඩොලර් බිලියන 06ක් ලංකාවට එවනවා. 2020 වන විට අපේ රටෙන් යන සෑම ශ‍්‍රමිකයෙක්ම පුහුණු ශ‍්‍රමිකයෙක් ලෙස විදේශගත කිරීමටයි, අපි උත්සාහ කරන්නේ. ඒ සඳහා ජාතික නිපුණතා ශ‍්‍රම බලකාය ගොඩනැගීමයි, අපි ඉටු කරමින් සිටින්නේ අපි රජයක් ලෙස රටේ තරුණයන් පිළිබඳ විශ්වාසය තබලා තිබෙනවා". 
     
    විභාග ෆේල් වූ අය මේ රටේ අතරමං වෙන්නේ නැහැ. වසරකට විශ්වවිද්‍යාලයට යන 20,000ක් විතරක් බලාගෙන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප‍්‍රතිපත්ති සම්පාදනය කරන්නේ නැහැ. ජාතියක් ලෙස අපි විටෙක හිනාවෙලා තිබෙනවා. විටෙක අඬලා තිබෙනවා. 
     
    පාලකයන් ලෙස ශ‍්‍රී ලාංකේය ජාතිය අඬන්නේ නැති ජාතියක් බවට පත් කිරීම වගකීම බවත් පාලකයන් ලෙස සතුටු විය හැක්කේ එදාට බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    නැගෙනහිර පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය නජීත් අබ්දුල් මජීඩ්, නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති, ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති කර්නල් දර්ශන රත්නායක, කොළඹ ජාත්‍යන්තර නාවික ඉංජිනේරු ආයතනයේ සභාපති කපිතාන් අජිත් පීරිස් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya