මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂයට ඇත්තේ රටේ නො ව පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමේ ප්‍රශ්නයක්

    ඔක්තෝබර් 11, 2014
    අද එක්සත් ජාතික පාක්ෂිකයන්ට තියෙන්නේ රටේ නායකත්වය වෙනස්කිරීමේ ප්‍රශ්නයක් නො ව තම පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමේ ප්‍රශ්නයක් බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
     
    රනිල් වික්‍රමසිංහ මහතාත් සජිත් ප්‍රේමදාස මහතාත් සමගි බව පෙන්වීම සඳහා එක ම වේදිකාවක අත් අල්ලාගෙන සිටිය ද රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්කර පක්ෂ නායකත්වය ලබාගැනීමේ සජිත් ප්‍රේමදාස මහතාගේ යටි අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් ඒ මහතා දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවද අමාත්‍යවරයා පැවසීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 60ක වියදමින් වසර 33කට පසුව පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කළ කොළඹ 12, සුචරිත මාවත මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් ඊයේ (10) දින පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
     
    2012 වර්ෂයේ ජන හා නිවාස සංගණනය අනුව ලංකාවේ නිවාස අවශ්‍යතාව උපරිම ලක්ෂ 7යි. සජිත් ප්‍රේමදාස මහතා තවම කියනවා ලක්ෂ 15ක් නිවාස නොමැති ව සිටිනවා කියලා. ඒක බොරු. මම දන්නේ නැහැ ඇයි බොරු කියන්නේ කියලා. කලින්  නම් නොදැන  කියනවා වෙන්න පුලුවන්. 2012 ජන හා නිවාස සංගණනය කළාට පසු ව ඒ තොරතුරු මත අපි පදනම් විය යුතුයි.  ශ්‍රී ලාකාවේ පැල්පත් තියෙන්නේ 136000යි. කලින් ඒවා ලොකු ගණන් තිබුණා. 2011 වසරේදී පමණක් ලක්ෂ 4 ක් නිවාස ඉදිකරලා තියෙනවා. මීට පෙර අවුරුද්දකට සියලු ම අංශවලින් ගෙවල් හැදුනේ 250,000යි. එය 2011 වසරේදී පමණක් ලක්ෂ 4 දක්වා වැඩිවෙලා තියෙනවා. නොදැන හෝ සජිත් ප්‍රේමදාස මහතා බොරු කියන එක අපි අනුමත කරන්නේ නැහැ. 
     
    අද කොළඹ නගරයේ පමණක් නො වේ මුළු රටේ ම වියපත් වුණු මහල් නිවාස නවීකරණය කිරීමේ මෙහෙයුමක් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරම්භ කරලා තියෙනවා. ඒ මෙහෙයුම සුචරිත මාවත නිවාස ක්‍රමයට ගේන්න අපි කටයුතු කළා. රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අධිකාරිය මගින් 2016 වසර අවසන්වන විට මහල් නිවාස 60000ක් ඉදිවෙනවා. ඒ කොළඹ නගරයේ නුසුදුසු ජනාවාසවල පවුල්වලට. එතන දේශපාලන භේද, ජාති භේද, ආගම් භේද, පසුගිය වසරවල ඡන්දය දුන්නේ කාටද කියලා සලකා බලන්නේ  නැහැ. කොළඹ නගරයේ නව පිබිදීමක් අත්විඳින්නත් එම ජනතාවට පුළුවන් වෙලා තියෙනවා.
     
    දශක 3ක යුද්ධයෙන් කොළඹ නගරයේ තිබුණු ආකර්ෂණය බිඳ වැටුණා. පිටකොටුවට මිනිස්සු එන එක නතරකරලා පිටකොටුව බෝගහ හන්දිය මරු සිටින ස්ථානයක් හැටියට මිනිස්සු හඳුනගෙන හිටියා. බස් නැවතුම්පොළේ ගැවසෙන එක අඩුවෙලා තිබුණා. පිටකොටුව ප්‍රදේශය මඟහැර යන විදිහට මහජනතාව කටයුතු කළා. පෙර ඉතිහාසයේ දැවැන්ත ජනාකීර්ණ තත්ත්වයක තිබුණු මේ ස්ථානය ක්‍රම ක්‍රමයෙන් වාණිජ වැදගත්කම අතින් දුර්වල වෙන්න පටන් ගත්තා. දශක 3ක් යුද්ධය අවසන් කළාට පසු තමයි කොළඹ නගරය අලුතින් නැගිටින්න පටන් ගත්තේ. මේ කොළඹ නගරයේ අලුත් උද්‍යාන නිර්මාණය වෙන්නේ, නව මහල් නිවාස ඉදිවන්නේ, පැරණි මහල් නිවාස ප්‍රතිසංස්කරණය වෙන්නේ, මහාමාර්ග හා පදික මංතීරු හැදෙන්නේ සාමය ලැබුණු නිසා. නැගිටින රටේ ප්‍රතිරූපය මැවෙන්නේ, සංකේතවත් වන්නේ අගනුවරින්. කලින් තිබුණේ අපිළිවෙළට, අපිරිසිදුකම රජවන කොළඹ නගරයක් තිබුණේ. අද අගනුවරට විනය ගෙනල්ලා තියෙන්නේ ඒ නිසා.
     
    කල් ඉකුත් වූ අතීත දේශපාලන කණ්ණාඩියෙන් සංවර්ධනය දෙස නොබලන ලෙසත් සමගි වුණොත් ඕනෑම අභියෝගයක් ජයගන්න හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    “ මහින්ද චින්තන ඉදිරි දැක්ම ” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන “ ජනසෙවණ ” ජාතික  නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමඟාමීව නගමු පුරවර පැරණි මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ නිවාස 32කින් සමන්විත සුචරිත මාවත මහල් නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු වසරක් ඇතුළත නිමකරනු ලැබුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම මත ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව  විසිනි.
     
    මේ අනුව ගොඩනැගිලිවල වහළ පිළිසකර කිරීම (දිරාපත් වී ඇති වඩිම්බු ලෑලි, වැහි පීලි, දියබස්නා නළ, ඇලුමිනියම් ෆ්ලෑෂින් යෙදීම), Gable බිත්ති  ජල රෝධක කිරීම, මළ නාලිකා පද්ධතිය හා මනු වලවල් ප්‍රතිසංස්කරණය, අප ජල බැසයන කුඩා මනුවලවල් හා ගලි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම, ජල බස්නා කාණු පද්ධති පිළිසකර කිරීම, නිවාස ඒකකවල පිටත හා ඇතුළත ජල කාන්දුවීම් පිළිසකර කිරීම, පිටත ආවරණය වී ඇති කැඩී බිඳී ගිය ජනෙල් හා දොර රාමු,  හිරු ආවරණ කූඩු, ගොඩනැගිල්ලේ ඉදිරිපස ඇති කොන්ක්‍රීට් හුඩ් ආවරණය අලුත්වැඩියා කිරීම,  ඝන අපද්‍රව්‍ය සඳහා වූ කසල බස්නා නළ සහ කසල කවුළු අලුත්වැඩියා කිරීම,  බුදු පිළිමය අලුත්වැඩියාකර හා තීන්ත ආලේප කිරීම, යකඩ  වැට අලුත්වැඩියාව හා තීන්ත ආලේප කිරීම, පුස්තකාල ගොඩනැගිල්ල හා යාබදව පිහිටි දෙමහල් ගොඩනැගිල්ල අලුත්වැඩියාව හා තීන්ත ආලේප කිරීම, හානිදායක ගස් කපා ඉවත් කිරීම, උද්‍යාන අලංකරණය, නිවාස ක්‍රමය වටා ඇති මායිම් තාප්පය වර්ණාලේප කිරීම, බිත්ති මත පැලවී ඇති වල් පැළෑටි හා ගස් ගලවා ඉවත්කර වර්ණාලේප කිරීම, ආදී ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් මෙහිදී සිදුකර ඇත.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( නිවාස ) කේ.ඒ. තිලකරත්න, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, ශ්‍රි ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා , සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ, එහි සාමාන්‍යාධිකාරී ජී.යූ. උපවංශ, ජන සෙවණ නිවාස ලේකම් කාර්යාලයේ උපදේශක ලක්විජය සාගර පලංසූරිය යන මහත්ම මහත්මීහු, මහල් නිවාස වැසියෝ, ප්‍රදේශවාසිහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya