මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සන්නද්ධ අරගල ලෝකයේ කොහේවත් සාර්ථක වී නැහැ

    ඔක්තෝබර් 11, 2014

    සන්නද්ධ අරගල වත්මන් ලෝකයේ කොහේවත් සාර්ථක වී නැති අතර දෙමළ ජනතාවගේ අයිතීන් දිනාගැනීමේ ක‍්‍රමවේදය ත‍්‍රස්තවාදය නොවන බවත් ත‍්‍රස්තවාදය කියන්නේ විමුක්ති අරගලයක් නොවන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා යාපනයේ, අරියාලෙහි ලංකා ධීවර සංස්ථා 142 වැනි මත්ස්‍ය අලෙවිසැල විවෘත කිරීමේ උත්සවයේදීය.

    යාපනය අරියාල ධීවර සංස්ථා මත්ස්‍ය අලෙවිසැල ඉදිකිරීම සඳහා ලංකා ධීවර සංස්ථාව රුපියල් ලක්ෂ 20ක් වැය කරනු ලැබීය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය. "එල්.ටී.ටී.ඊ. එකේ නායකයන්ට පමණක් නෙවෙයි නේපාලයේ ගරිල්ලාවරු ලංකාවට ඇවිත් රහසිගතව මාව හමුවුණු වේලාවේත් පුළුවන් තරම් ඉක්මනට සන්නද්ධ අරගලය පැත්තක තියලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතට එන්න කියා මා කිව්වා. මොකද ලෝකයේ සන්නද්ධ අරගල සාර්ථක වීමේ තත්ත්වයක් දැන් නැහැ. පසු කලෙක ඔවුන් ආයුධ බිම තියලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතට ආවා. ඔවුන්ගේ ප‍්‍රචණ්ඩකාරී මාවෝවාදී ගරිල්ලා නායකයා ඒ රටේ අග‍්‍රාමාත්‍ය ධූරයට පත් වුණා. නමුත් එවැනි ක‍්‍රියා ගැන දේශපාලන බුද්ධියක් නොතිබූ නිසා එල්.ටී.ටී.ඊ. එක සමූල ඝාතනය වුණා.

    මට දෙමළ භාෂාව කතා කරන්න බැරිවුණාට ද්‍රවිඩ ජනතාවගෙත් ප‍්‍රශ්න ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඔබේ අයිතිය පිළිබඳ ව 1980 ගණන්වල ඉඳලා එක ම ස්ථාවරයක ඉඳලා සටන් කරපු ඔබේ ම සහෝදරයෙක් විදියටයි මම කතා කරන්නේ. අපේ‍ එක ම අභිලාෂය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සමාන අයිතිය තියෙන එක්සත් රටක් බිහිකිරීමයි. 1998දී අපි සටන් කළේ ඉන්දු-ලංකා ගිවිසුමට සහයෝගය දීලා උතුරු නැගෙනහිර පළාත් සභාව පිහිටුවන්නයි. නමුත් අපිට අවශ්‍ය විදියට ඒ සභාව පත් කරන්න බැරිවුණා. නියම මහජන නියෝජිතයෝ පත්වුණේ නැහැ. අද උතුරේ ජනතාවගේ ඒ පළාත් සභා නිර්මාණය වෙලා තියෙනවා අවශ්‍යතා මත, කැමැත්ත මත, නැගෙනහිර ජනතාවගේ කැමැත්ත මත. ඒ කොයි පක්‍ෂය ද බලයට එන්නේ කවුද කියන එක නෙවෙයි වැදගත්. පළාත් සභාව නිර්මාණය වෙලා ඉදිරියට ශක්තිමත්ව ගෙනියන්නේ කොහොමද කියන එකයි වැදගත්. අපි දිගට ම දෙමළ ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියා.

    උතුරේ ජනතාවට තියෙන සියලු පහසුකම් අපිට හැකි පමණින් ලබාදීමට ක‍්‍රියා කරනවා. ජනාධිපතිතුමා මට උතුරට වැඩ කරන්න විශාල මුදල් ප‍්‍රමාණයක් ලබා දීලා තියෙනවා. උතුරේ විශාල සංවර්ධන වැඩපිළිවෙළක් ජනාධිපතිතුමා ක‍්‍රියාත්මක කරනවා. අපි සේරම එක්වෙලා අත්වැල් බැඳගෙන යුද්ධය දිනා දුන් පසු යුද්ධයෙන් පීඩාවට පත්වූ මේ ජනතාව ඒ තත්ත්වයෙන් මුදවාගෙන ඔවුන්ගේ සියලු අයිතීන් ආරක්ෂා කරගෙන හෙට දවසක් ගොඩනැගීමට අත්වැල් බැඳගෙන අපි එකට එක්වෙන්න ඕනෑ. අන්තවාදීන් කිහිපදෙනෙක් ඇරෙන්නට අද විශාල ද්‍රවිඩ මිත‍්‍රයෝ ටිකක් උතුරෙත්, දකුණෙත් ඉන්නවා. ඒ කිසිවෙකුට මේ රට කඩන්නට ඕනේ නැහැ. ඒ අයට අවශ්‍ය මේ රටේ සිංහලයා වගේ ම අභිමානයෙන් තමන්ටත් නිදහසේ ජීවත්වීමටයි. අන්න ඒ හෙට දවස නිර්මාණය කරන්න අපේ බලාපොරොත්තුව" යැයි පැවසීය.

    මෙම අවස්ථාවට උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍ය බී. දිනේශ්වරන්, ලංකා ධීවර සංස්ථාවේ සභාපති මහිල් සේනාරත්න, කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේශ්වර මහත්වරු ද සහභාගී වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya