මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලනය ගැන උවමනාවක් තියෙන අය හිටියොත් හෙට දවසේ පාර්ලිමේන්තුව බැබලේවි

    ඔක්තෝබර් 10, 2014
    දේශපාලනය ගැන උවමනාවක් තියෙන, දේශපාලනය කළ හැකි අය හිටියොත් හෙට දවසේ පාර්ලිමේන්තුව බැබලේවි යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    මේ රටේ ඇමතිවරුන්, මන්ත‍්‍රීවරුන් ඕනෑ තරම් ඉන්නවා. නමුත් දේශපාලනඥයෝ හදන්න බැහැ. ඒ කාලේ පාර්ලිමේන්තුවේ හිටිය සේරම දේශපාලනඥයෝ ඔවුන්ට හොඳ දේශපාලන අවබෝධයක් රට ගැන ලෝකය ගැන තිබුණා. නොයෙකුත් මතවාද කියවලා පොත් කියවලා ලැස්තිවෙලා ඇවිත් කතා කරපු අය ඉන්නේ. අද විජ්ජාකාරයෝ වගේ දොඩවනවා. එහෙම රටක් ගෙනියන්න බැහැ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ගාල්ල දිස්ත‍්‍රික්කයේ පැරෑළිය නැංඟුරම් පොළට මුල්ගල් තැබීමේ උත්සවයේදීය.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය.  "ඉස්සර රත්ගම කියන්නේ බොහෝම සටන්කාමී වාමාංශික පුරවරයක්. විශේෂයෙන් ම 53 හර්තාලයේදී රත්ගම ආසනයේ කාන්තාවෝ හර්තාලය සැමරුවේ ගාලුපාර මැද්දේ. පාර්ලිමේන්තුවට යන්න ඕනේ නම් තියෙන්න ඕන සල්ලි. තව කීපදෙනෙක් පාර්ලිමේන්තු යනවා හදාගත්ත නම නිසා. මම හැමදාම බේරෙන්නේ නම නිසා. මට ඡන්දේ දෙන අය කවුද කියා මම දන්නේවත් නැහැ. ඒ මොකද මගේ කතා අහලා, කතා කියවලා දෙන ඡන්ද ගණනාවක් හැම දිස්ත‍්‍රික්කයක ම තියෙනවා. 
     
    මම බොරුවට මුල්ගල් තියන්නේ නැහැ. මගේ මේ ඉතිහාසයේ කිසිම දවසක මුල්ගලක් පැළවෙලා නැහැ. සියලු සල්ලි එකතු කරගෙන, සල්ලි අතේ තියාගෙනයි මම මුල්ගල් තියන්නේ. ඒ නිසා අද අපි දකුණට ම වරායවල් ගණනාවක් හදනවා. අද බේරුවල, මරදාන, කයිකාවල, පැරෑලිය හදනවා. ගාල්ල දියුණු කරනවා. දොඩන්දූව දියුණු කරනවා. ඊට එහා කප්පරතොට, ගන්දර, කලමැටිය හදනවා. හම්බන්තොට වරාය දියුණු කරනවා. උතුරේ ධීවර වරායවල් 11ක් හදනවා. ඔබට, ඔබේ දරුවන්ට හොඳ රටක් ඕනේ නම් ඔබ නිවැරදි තීන්දු ගන්න. මේ රටේ දේශපාලනය පිරිසිදු වෙන්නට ඕනෑ. එහෙම නැත්නම් අනාගතයේදී මේ තරුණයෝ අපිට විරුද්ධව නැගිටිනවා. මේ ක‍්‍රමය සුනුවිසුණු කරන්න නැගිටිනවා. ඒක නවත්වන්න බැහැ. ඒ නිසා මේ ක‍්‍රමයට අපේ ජනාධිපතිතුමාට උදව් කරන්න අවශ්‍යයි. එතුමා පාරතොටේ ගුටි කකා, මේ වැල්ලවල්වල ඇවිදගෙන, පාරවල්වල, ගම්වල හැම තැනම රිංගලා මේ පුටුවට ආපු කෙනෙක්. එතුමාට මේ සියල්ල තේරෙනවා. එතුමාට අවශ්‍ය ජවය ශක්තිය දිය යුතුයි මේ ගමන යන්නට. තව නායකයෙක්  ඕනෑ නැහැ. තට්ටු මාරු  ඕනෑ නැහැ.  
     
    ලෝකයේ සම්මත නීතිය කිලෝ මීටර් 20කට එක වරායයි. අපේ රටේ කිලෝ මීටර් එකෙන් එකට වරායවල් තියෙනවා. එතකොට අනාගතයේදී දරුවෙකුට වැල්ලක් බලාගන්න වෙන්නේ පින්තූරවලිනුයි. මේ විදියට වරායවල් හැදුවොත් වැල්ලක් නැහැ. මේ පැරෑලියට වියදම රුපියල් මිලියන 300යි. තව වරායකින් භාගයක් හදන්න තිබුණා මේ සල්ලිවලින්. වැඩිපුර මුදලක් වැය කරන්නේ හානිය නවත්වන්න" යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
     
    පැරෑළිය නැංඟුරම් පොළ ඉදිකිරීම සඳහා රජය රුපියල් මිලියන 300ක් හෙවත් රුපියල් කෝටි 30ක් වැය කරනු ඇත. කාලයක් තිස්සේ මෙම නැංඟුරම් පොළ ඉදිකර දෙන මෙන් පැරෑළිය ධීවර ජනතාව ඉල්ලා සිටිය අතර එය විවිධ තාක්ෂණ හේතුන් මත කල්ගත විය . 
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී, නීතිඥ මොහාන් ද සිල්වා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහත්වරු සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya