මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘උත්තම ශ්‍රම පූජා’ වැඩසටහනින් පෝෂණ ප්‍රවර්ධන කමිටු සාමාජිකයන්ට ප්‍රථමාධාර පුහුණුව

    ඔක්තෝබර් 09, 2014

    ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ජාතික පෝෂණ ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන උත්තම ශ්‍රම පූජා වැඩසටහන යටතේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ප්‍රවර්ධන කමිටු සාමාජිකයින් සඳහා ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි.


     සෞඛ්‍යදාන ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැත්වූ මෙම ප්‍රථමාධාර පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


     
    මනා පෝෂණයෙන් හෙබි, සෞඛ්‍ය සම්පන්න කාර්ය මණ්ඩලයක් තුළින් පිරිපුන් රාජ්‍ය සේවාවක් ලබාදීමේ ජාතික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන මෙම ‘උත්තම ශ්‍රම පූජා’ වැඩසටහන මෙම අමාත්‍යාංශයේ සාර්ථක ව ක්‍රියාත්මක වේ. ඒ අනුව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සේවක මණ්ඩල සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට අදාළ උපදෙස් ලබාදීම සඳහා සාමාජික සාමාජිකාවන් 35කින් යුත් පෝෂණ ප්‍රවර්ධන කමිටුවක් පත් කර තිබේ.


    ඒ අනුව මෙම වැඩසටහන මගින් අමාත්‍යාංශ නිලධාරීන් සඳහා හදිසි අනතුරුවල දී පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම පිළිබඳව පෝෂණ ප්‍රවර්ධන කමිටු සාමාජිකයින්ට දැනුම ලබාදීම සිදුකෙරුණු අතර එමගින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවල මෙන්ම අමාත්‍යාංශයක් ලෙස එම කාර්ය මණ්ඩලයන්හි සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම ද අපේක්ෂා කෙරේ.


     රාජ්‍ය සේවකයන් යහපත් ශාරීරික හා මානසික මට්ටමකින් සිටීම නිසා මහජනතාවට උසස් සේවයක් ලබාගැනීමට වැඩි ඉඩකඩක් ඇති බව ද එය ජාතියක් ලෙස නැඟී සිටීමට බෙහෙවින් ඉවහල් වන බව ද මෙහි දී අදහස් දැක්වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.


    තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,“ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න හා තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් හරහා මෙරට කාන්තාවන්ගේ මෙන් ම දරුවන්ගේ අනාගතය ආලෝකමත් කිරීමට ජනාධිපතිතුමන් හඳුන්වා දුන් මෙම උත්තම ශ්‍රම පූජා වැඩසටහන ඉවහල් වෙනවා. කාර්යය බහුලත්වය නිසා රාජ්‍ය සේවකයා තුළ ඇති වන මානසික ආතතිය දුරුකිරීමටත් මෙය විශාල රුකුලක්.


     ඒ වගේම මෙරට සංස්කෘතිය හා බැඳී තිබූ විධිමත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව අනුගමනය කිරීම තුළින් දැනට සමාජයේ තිබෙන රෝගාබාධ, විශේෂයෙන්  බෝ නොවන රෝග විශාල ප්‍රමාණයකින් වැළකිය හැකියි.


    අපි රටක් ලෙස කොතරම් භෞතික සංවර්ධනයක් ඇති කර ගත්තද ජනතාව නිරෝගිමත් නැත්නම් එම දියුණුවෙන් ඵලක් නැහැ.”


    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ආචාර්ය ප්‍රභාත් ගොඩකුඹුර, සෞඛ්‍යදාන ව්‍යාපාරයේ ව්‍යාපෘති නිලධාරි ආචාර්ය වයි. රාජකරුණා යන මහත්වරුන් ද මෙහි දී අදහස් දැක්වූ අතර ප්‍රථමාධාර පිළිබඳ පුහුණුව සෞඛ්‍යදාන ව්‍යාපාරයේ සම ලේකම් සුනිල් පෙරේරා මහතා විසින් සිදු කරන ලදී.


    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද මෙම පුහුණු වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් ව සිටියහ. 

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya