නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හරියට වැඩ කරන සෑම ක්‍ෂේත්‍ර නිලධාරිවරයෙකුට ම පහසුකම් ලබා දෙනවා

    ඔක්තෝබර් 04, 2014
    පළාත් සභා නිලධාරීන්ට පමණක් නෙමෙයි නිවැරදි ව සේවය කරන සෑම ක්‍ෂේත්‍ර නිලධාරිවරයෙකුට ම පහසුකම් ලබා දෙන්න මම කටයුතු කරන බවත් යතුරු පැදි නොදීපු අයටත් ඉක්මනින් ම ලබාදීමට කටයුතු කරන බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 
     
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (02)  කුලියාපිටිය  ජනාධිපති ශිල්ප ශාලිකාවේ පැවති ක්‍ෂේත්‍ර නිලධාරීන් 932 දෙනෙකුට යතුරු පැදි බෙදාදීමේ උත්සවයට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, විශේෂයෙන්  ආණ්ඩුවක් විදියට රාජ්‍ය සේවයේ තමුන්නාන්සේලාගේ සේවය ඉතා ඉහළ තැනකට ගෙන ඒමට ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. 
     
     
    එදා මුලික වැටුප තිබුණේ රුපියල් 6000යි. අපි ඒක 11000කට ගෙනාවා. අද මුලික වැටුප රුපියල් 21000යි. මේ විදියට වැටුප් ගෙනාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ප්‍රතිඵලයක් විදියට. එතනින් නැවතුනේ නැතිව අපි විශාල ගණනක් පඩි වැඩිකිරීම් සිද්ධ කරා. අපි 2001 දී 1500කින් පඩි වැඩි කරන්න හැදුවා. ඒත් කරගන්න බැරිවුණා. 2004න් පස්සේ ඒ වැටුපට එකතු කරපු මුදල් ප්‍රමාණයක් තිබුණා. අපිට අද වෙනකොට විශාල මුදල් ප්‍රමාණයක් එකතුවෙලා තියනවා. ජීවන වියදම සම්බන්ධයෙනුත් ජනාධිපතිතුමා මේ අය වැයෙන් විශාල වැඩකොටසක් කරන්න ඉන්නේ. අපිට මුදල් ඕන වෙද්දී  දියව් දියව් කියලා පාරවල් දිගේ කෑගහන්න පුළුවන්. නමුත් ලැබෙන මුදල් ටික කොහොමද පරිහරණය කරන්නේ කියලා කල්පනා කළ යුතුයි. ලංකාවේ 2001 සහ 2004 කාලයේ ලක්ෂ 10ක් පමණ හිටපු  රාජ්‍ය සේවයේ සංඛ්‍යාව ලක්ෂ 6ට අඩු වුණා. ඒ වගේ ම ඩොලර් මිලියන 560ක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ගන්න හැදුවා. රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කරන්න, රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කරන්න, විදුලිබල මණ්ඩලය කෑලි අටකට කඩන්න සහ පාඩු ලබන රාජ්‍ය සංස්ථා පෞද්ගලික අංශයට දෙන්න. මේවා තමයි එදා තිබුණ යෝජනා.
     
    එදා මේ යෝජනාවලට එකඟ වුණා නම් රාජ්‍ය සේවය ඉතා පහළ මට්ටමකට වැටෙනවා. අපිට යුද්ධයක් එක්කයි 2005 ඉඳන් 2009 දක්වා රටේ සංවර්ධනයට අත ගහන්න සිද්ධ වුණේ. කෝටි 22000ක් අපිට යුද්ධය වෙනුවෙන් අවුරුද්දකට වියදම් කරන්න සිද්ධ වුණා. ඒ මුදල් අපිට දැවැන්ත ලෙස අද සංවර්ධනය සඳහා යොදවන්න පුළුවන් වෙලා තියනවා. එදා ලක්ෂ 10ක් සිටි රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව අද ලක්ෂ 14 දක්වා වැඩිවෙලා තියනවා. 1965 න් පස්සේ එකවර උපාධිධාරීන් 58000කට පත්වීම් දුන්න ආණ්ඩුවක් තියනවා නම් ඒ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව විතරයි.  අපි ඒ ගත්ත ක්‍රියාමාර්ගයේ වෙනස ආදරණීය ජනතාවට දෙන්න. ඒ පත්වීම් ලබපු සමහර අය අද කියනවා ඒ දීපු රස්සා හරි නෑ. ගෙවන ගාන  මදි කියලා. රස්සා දීලත් ආණ්ඩුවට බැනුම් අහන්න සිද්ධවෙලා තියෙන්නේ.  මනුෂ්‍ය ස්වභාවයට අනුව හැමෝම බලන්නේ තියන හොඳම තැන හොයාගෙන රැකියාව කරන්න. මේ බයිසිකල් ගන්න කොටත් හැමෝම බලන්නේ මීට වඩා හොඳ එකක් තිබුණොත් හොඳයි කියලා. නැත්නම් මේක නැතුව මරුටියක් දෙන්න කියනවා. මරුටියක් දුන්නොත් බෙන්ස් එකක් ඉල්ලනවා. අපි මතක තියා ගන්න ඕන කාරණය තමයි විශේෂයෙන්  අපේ රාජ්‍ය නිලධාරීන්, මේ සංකල්ප කවදාවත් හිතලා තිබුණු සංකල්ප නෙමෙයි. කවුරුත් හිතුවේ නෑ තමන්ට වැඩකරන්න මෝටර් බයිසිකලයක් ආණ්ඩුවෙන් හම්බවෙයි කියලා, තමන්ගේ මුලික පඩිය රුපියල් 21000 දක්වා වැඩි කරයි කියලා. ඒ විතරක් නෙමෙයි අද විශ්‍රාමිකයන්ට දෙන පහසුකම් ටික අපි වැඩි කරලා තියනවා.
     
     
    එකින් එක, එකින් එක රාජ්‍ය නිලධාරීන්ගේ බර ආණ්ඩුවට වැඩිවුණත් නිලධාරීන් හකුලවා ගන්න නෙමෙයි බඳවා ගන්න එකයි  කරන්නේ. පහුගිය අවුරුදු හතර ඇතුළත ගුරුවරු විතරක් 132000ක් අරගෙන තියනවා. හෙදියෝ 56000ක් බඳවාගෙන තියනවා. ඒ වගේ විශාල පිරිසක් රාජ්‍ය සේවයට එකතුවෙලා තියනවා. මේ ක්‍ෂේත්‍ර නිලධාරීන් පහසුකම් නැතිව ග්‍රාමීය මට්ටමින් සේවය කරන්නේ. අපිට රාජ්‍ය නිලධාරීන් විශාල වශයෙන් යෝජනා ගණනාවක් දුන්නා. අපේ පළාත් සභා සේවකයෝ 40000කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. අපි දන්නවා කවුද ක්‍ෂේත්‍රයේ වැඩ කරන්නේ නොකරන්නේ කියලා. මම විශේෂයෙන් කියන්න කැමතියි අපේ ගුරු උපදේශකවරු 587 දෙනෙක්ගේ ලැයිස්තු අරගෙන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා එක්කත් සාකච්ඡා කරලා ඒ ලැයිස්තු ටික යොමු කරලා තියනවා. පළාත් සභා නිලධාරීන්ට පමණක් නෙමෙයි නිවැරදි ව සේවය කරන සෑම ක්‍ෂේත්‍ර නිලධාරිවරයෙකුට ම පහසුකම් ලබා දෙන්න මම කටයුතු කරනවා.
     
     
    බයිසිකල් නොදීපු අයටත් ඉක්මනින්ම ලබාදීමට කටයුතු කරනවා. මීට සති කීපයකට පෙර අපි ඌව පළාතට බයිසිකල් ලබා දුන්නා. සමහරු කිව්වා ඡන්ද ගන්න බයිසිකල් දුන්නා කියලා. දැන් ඡන්දය දිනපු අය පාඩුවේ ඉන්නවා. පැරදුනු අය උඩ පනිනවා. මම කියන්න කැමතියි අද සමහර අයට නිවැරදි දේ තෝරාගන්න බෑ. පැරදිලා ඉන්න අය හිතාගෙන ඉන්නවා දිනලා ඉන්නේ කියලා. ඡන්ද ප්‍රමාණය අඩුවෙලා කඩා වැටිලා තියෙන්නේ අපේ නෙමෙයි. 2009 යුද්ධය ඉවරවෙලා මාස දෙකකින් තමයි ඌව මැතිවරණය තිබ්බේ. ඒ නිසා 2014 ඡන්දයත් එක්ක සංසන්ධනය කරන්න බෑ. එදා පක්ෂ භේදයකින් තොර ව ඡන්දය ලැබිලා 80%ක් ආවා. 2010 මැතිවරණයේදී මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රතිශතයත් වැඩිවුණා. මොන සංඛ්‍යාලේඛන ගෙනාවත් අපි යථාර්ථය තේරුම් ගන්න ඕනේ. පළාත් නවයෙන් ම ප්‍රතිශතය ගත්තත් ලක්ෂ 27කට වැඩි ප්‍රමාණයක් ජනාධිපතිතුමා ඉදිරියෙන් ඉන්නවා. දැන් බයිසිකලේ යනකොට හැමෝ ම හොඳට මතක තියාගන්න පාරවල් ටික හදලා තියෙන්නේ. වෙනදා වැටි වැටී ගිය පාරවල්වල නෙමෙයි යන්න තියෙන්නේ. ඒ නිසා කල්පනාවෙන් බයිසිකලේ යන්න. ජනාධිපතිතුමා අරගෙන යන ක්‍රියාමාර්ගයට  රාජ්‍ය සේවකයන් ලෙස ඔබගේ සහයෝගය දෙන්න. 


    මෙම අවස්ථාවට වයඹ පළාත් මහාමාර්ග අමාත්‍ය ගුණදාස දෙහිගම, පළාත් සභා  මන්ත්‍රී අතුල විජේසිංහ, කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් කැටවලගෙදර ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
     
     
    ECB 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya