නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බර්ටි ගුණතිලකට කොළඹින් නිවසක්

    සැප්තැම්බර් 25, 2014

    අඩ සියවසකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයෙත් රසික හදවත් තුළත් නොමැකෙන නාමයක් සනිටුහන් කළ ප්‍රවීණ කලා ශිල්පී බර්ටි ගුණතිලක මහතාට ප්‍රතිකාර ගැනීමේ පහසුව සඳහා කොළඹින් නිවසක් ලබාදීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් පසුගියදා සිදුකෙරිණ.

     

    බත්තරමුල්ල, සෙත්සිරිපාය, දෙවන මහලේ පිහිටි නිවාස අමාත්‍යාංශයේ දී මෙම නිවසේ යතුර බර්ටි ගුණතිලක කලාකරුවාට භාර දීම සිදු විය.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් දෙමටගොඩ, ආරාමය පෙදෙස, II අදියර මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ පිහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවසක් මෙලෙස බර්ටි ගුණතිලක කලාකරුවාගේ පරිහරණය සඳහා ලබා දී ඇත. 

     

    මේ වන විට 90 වැනි වියෙහි පසුවන බර්ටි ගුණතිලක මහතා අංක 568/A, වේරහැර, ගොඩකවෙල දරන ලිපිනයෙහි පිහිටි ඒ මහතාගේ බිරිඳගේ නිවසේ පදිංචිව සිටී. බර්ටි ගුණතිලක කලාකරුවාගේ වයස්ගතභාවය හා ඒ මහතාගේ රෝගී තත්ත්වය සඳහා කොළඹ සිට ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව සැලසීමේ අරමුණින් මෙම නිවස ඒ මහතාගේ පරිහරණය සඳහා ලබාදී ඇත්තේ බදු පදනම මතයි. 

     

    වර්ෂ 1924 අගෝස්තු 02 වෙනිදා මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ උපත ලද බර්ටි ගුණතිලක මහතා 1948 වර්ෂයේ දී ‘‘සිරි අයියාගේ ” ළමා වැඩසටහන තුළින් ප්‍රථම වරට ගුවන් විදුලියට සම්බන්ධ විය. විහිළු තහළු, විනෝද සමයේ රස මැවූ බර්ටි ගුණතිලකයන් පසුකාලීන ව වේදිකා, ගුවන්විදුලි හා රූපවාහිනී වැඩසටහන් සේ ම චිත්‍රපට විශාල සංඛ්‍යාවකට ද රංගනයෙන් දායක විය.



    1951 වර්ෂයේදී තිරගත වූ ‘‘බණ්ඩා නගරයට පැමිණීම” චිත්‍රපටයෙන් ප්‍රථම වරට චිත්‍රපට රංගනයට එක් වූ ඒ මහතා ‘‘සමුගනිමි මා සැමියනි, චූඩා මාණික්‍ය, ලක්සෙට කොඩිය, සිකුරු ලියා, කෝලංකාරයෝ, පෙම් මල් මාලා, ජීවන ගංගා, මරුවා සමඟ වාසේ, නැව ගිලුනත් බෑන් චූන් සහ ජොලි හලෝ” යනාදී චිත්‍රපටි 60කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇත.

    මීට අමතර ව ඒ මහතා පාසල් ගුරුවරයකු, පුවත්පත් කලාවේදියෙකු සහ වෘත්තීය සමිති නායකයෙකු වශයෙන් ද කටයුතු කර තිබේ. 

    නිවසෙහි යතුර භාර ගැනීමෙන් අනතුරු ව අදහස් දැක්වූ බර්ටි ගුණතිලක මහතා; වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට සේවාවක් සිදු කළ තමා පිළිබඳ ව අවධානය යොමු කොට සිය පරිහරණය සඳහා ලබා දුන් මේ නිවස සිය ඉදිරි ජීවන ගමන්මග සඳහා විශාල ශක්තියක් වන බවත් ඒ සඳහා දායකත්වය දැක් වූ අතිගරු ජනාධිපතිතුමන්ට සහ විමල් වීරවංශ ඇමතිතුමන්ට සිය ගෞරවණීය ප්‍රණාමය පුදකර සිටින බවත් කීය.
      
    මෙහිදී අදහස් දැක්වූ බර්ටි ගුණතිලක මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන භාරත ගුණතිලක මහතා, “ තාත්තා රත්නපුරේ ඉඳලා තමයි ප්‍රතිකාර ගන්න කොළඹ එන්නේ. එහෙම ඇවිල්ලා නැවතිලා ඉන්න තැනක් නැහැ. එකම දවසේ රත්නපුරේ  සිට කොළඹට ඇවිත් ප්‍රතිකාර ලබා ගෙන නැවත රත්නපුරේ යන්න වීම තාත්තාගේ සෞඛ්‍ය තත්ත්වයට හොඳ නැහැ. මේ පිළිබඳ ව අවධානය යොමු කර අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විමල් වීරවංශ ඇමතිතුමා විසින් තාත්තාට පහසුවක් සලසමින් නිවසක් ප්‍රදානය කළා. ඒ ගැන ගොඩක් සතුටුයි. කලාකරුවන්ට වගේ ම අසරණ මිනිසුන්ට ජන සෙවණ විශාල ශක්තියක් ” බව පැවසීය.

     

    මීට සමගාමීව කිංස්ලි විජේසුන්දර මහතා විසින් රචිත “ සදාදරණීය බර්ටි ” ග්‍රන්ථය බර්ටි ගුණතිලක මහතා විසින් මෙහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා වෙත පිරිනමන ලදී.



    මෙම අවස්ථාවට බර්ටි ගුණතිලක කලාකරුවාගේ දරුවන් වන හර්ෂ ගුණතිලක, ජීවනී ගුණතිලක, කුමුදුනී ගුණතිලක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya