මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොමිලේ ජීවිත රක්‍ෂණාවරණ දීම කලාවැවින් අරඹයි

    සැප්තැම්බර් 22, 2014

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 63 වන සංවත්සරයට සමගාමීව සිදු කෙරෙන වයස අවුරුදු 63ක් සැපිරූ ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් සඳහා නොමිලේ ජීවිත රක්‍ෂණාවරණ ලබා දීම ඊයේ (21) කලාවැව මැතිවරණ කොට්ඨාසයෙන් ආරම්භ කෙරිණි.


    මේ යටතේ කලාවැව මැතිවරණ කොට්ඨාසයේ පන්දහසක් සඳහා ජීවිත රක්‍ෂණ ලබා දෙනු ලැබුවේ දෙවන පළුගස්වැව අක්කර පන්සීයේදී අභිනවයෙන් ආරම්භ කළ කලාවැව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාර්යාල භූමියේදීය. මේ යටතේ රක්‍ෂණ ලාභියෙකුට හදිසි අනතුරු මරණයක දී රුපියල් ලක්‍ෂ 05ක් ද පවුලට අයත් සාමාජිකයෙකුගේ ඕනෑ ම ආකාරයේ මරණයක දී රුපියල් ලක්‍ෂයක් ද පිරිනැමේ. එමෙන් ම හදිසි ආපදාවකදී රුපියල් ලක්‍ෂ දෙකක මුදලක් ද හිමි වේ.

     

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාක්‍ෂිකයන් සඳහා රක්‍ෂණ වාරික අනුරාධපුර දිස්ත‍්‍රික් නායක කලාවැව ශ‍්‍රී.ලං.නි.ප. ප‍්‍රධාන සංවිධායක ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන මහතා සහ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් යන මහත්වරුන්ගේ පුද්ගලික මැදිහත්වීම මත රුපියල් ලක්ෂ 50ක මුදලක් ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවට පිරිනැමීම ද මෙහිදී සිදු කළහ. මේ සඳහා දානපතියන් කීප දෙනෙකුගේද දායකත්වය ලැබිණි. මෙහිදී පක්‍ෂය වෙනුවෙන් කැපවීම කළ සාමාජිකයන් සඳහා පදක්කම් පිරිනැමීමක් ද සිදු කෙරිණි. 

     

    ශ‍්‍රී.ලං.නි.ප. ජ්‍යෙෂ්ඨ සමාජිකයන්ට රක්‍ෂණ ආවරණ ප‍්‍රදානය කරමින් අදහස් දැක්වූ  අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මෙසේ පැවසීය. "2005 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමාට අපේක්‍ෂකත්වය ලබා නොදීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කටයුතු කළා. කෙනෙහිලිකම් කළා. බාධා කළා. අපේ අය දෙපැත්ත තුන් පැත්ත අල්ලාගෙන සිටියා. ඒ අවස්ථාවේ මා ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා කීවා අගමැතිතුමාට ජනාධිපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් මන්ත‍්‍රීවරු තිස් පහක් සමඟ පක්‍ෂයෙන් ඉවත්වෙන බව. අප පක්‍ෂය හැර යන්නේ නැති වුවත් බිය ගැන්වීමට කළ එම ප‍්‍රකාශය නිසා මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමාට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්න සිදු වුණා. එදා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉදිරියට ආවේ නැතිනම් ජනාධිපති අපේක්‍ෂකයා නොවුණා නම් මම උදැල්ලක් අරන් කුඹුරු කොටන්න තීරණය කර සිටියා යැයි" අමාත්‍යවරයා කීය.

    "ඌව පළාත් සභා මැතිවරණය ගල උඩ සටනක්. ඒ සටනින් ගලෙන් පහළට වැටුණ පක්‍ෂය අනාථ වෙනවා. ගල උඩ සටනෙන් එ.ජා.ප.ය ගලෙන් පහළට වැටුණා. ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා  ගල උඩ සටන ගැන කීවා. එ.ජා.ප. පාලන කාලයේ දකුණු පළාත් සභා මැතිවරණයෙන් එ.ජා.ප.ය පරාජය වුණා. මහා මැතිවරණයෙන් ද එ.ජා.ප.ය පරාජයට පත්වුණා. ඌවේ ගල උඩ සටනින් අප ජයග‍්‍රහණය කළා. ඉදිරි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා තුන්වෙනි වරටත් අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබීමේ පෙරමග ලකුණ ගල උඩ සටන ජය ගැනීම" බව ද ඔහු කීය.

    මෙහිදී අදහස් දැක් වූ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා, පළාත් සභා මැතිවරණයෙන් රජයට අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා දුන් ඌවේ ජනතාව රජයට එරෙහි සියලු කුමන්ත‍්‍රණ පරාජය කළ බව පැවසීය. ඌව පළාත් සභා මැතිවරණයේ දී එ.ජා.ප.ය හා ජ.වි.පෙ. සතු ශක්තිය යොදවා අන්ත පරාජයක් ලැබුවා. විපක්‍ෂයේ ගමනක අවසාන සනිටුහන් කළ ඌවේ ජනතාවට මුළු මහත් ජාතියේ ම ප‍්‍රණාමය හිමි වෙන බවද ප‍්‍රධාන ඇමතිවරයා කීවේය. 

    ඌව පළාත් සභාව ඇතුළු පසුගිය කාලය තුළ පැවති පළාත්  සභා මැතිවරණවලින් ආණ්ඩුව වැඩි ඡන්ද විසිපන් ලක්‍ෂයකින් ඉදිරියෙන් සිටින බව ද රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂ නායකත්වය ආරක්‍ෂා කරගැනීමේ සටනක යෙදී සිටිනවා. සජිත් පේ‍්‍රමදාස මහතා පක්‍ෂ නායකත්වය උදුරා ගැනීමේ සටනක යෙදී සිටිනවා. එ.ජා.ප. පාක්‍ෂිකයන් පොකුරු පිටින් ජනාධිපතිතුමා සමඟ එක් වී රට ගොඩනගන බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජාතියේ අනාගතය සුරක්‍ෂිත කර ඇති බවත් කී අමාත්‍යවරයා ජාතියේ ඉදිරි ගමන වැළැක්වීමට කිසිදු ජගතෙකුට මේ රටේ ජනතාව ඉඩ නොතබන බව ද කීය.

     

    මෙම අවස්ථාවට පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපාල, පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන සරත් ඉලංගසිංහ, කේ.පී.එස්.කුමාරසිංහ මහත්වරු සහභාගී වී සිටියහ.



    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya